‘එෆ්.සී.අයි.ඩී අහෝසි කරනවා ‘


(විනීතා එම් ගමගේ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

ඉදිරියේ දී රටේ ක‍්‍රියාත්මක වන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන ආයතනයක් බැවින් එය කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි යැයි ද සදහන් කළේය. 

පසුගිය රජයෙන් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකරනු ලැබුයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් සිටි කමිටුවක් විසින් තෝරාදෙනු ලබන තැනැත්තන්ට නඩු නිර්මාණය කර පැවැරීම යැයි ද හෙතෙම කියා සිටියේය. 

මහින්දානන්ද අලූත්ගමගේ මහතා මේ අදහස් පළ කලේ විදුලි බල අමාත්‍යංශයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
එහි දී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා දැන් එම ආයතනයට නඩු නොඑන බැවින් රටේ ඇති නීත්‍යානුකූල ආයතන වන පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඇතුළු රාජ්‍ය ආයතන විසින් අපරාධ පිළිබද කටයුතු කරනු ඇතැයි ද පැවැසීය.

මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අපරාධ විසදීම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන බවද ඒ හරහා ඒවා විසඳුන් ඇතැයි ද ඉදිරියේ දී එවැනි ආයතනයක් මේ රටේ නොතිබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.