‘ඌරු ජුවා’ගේ-‘කංජිපානි’ගේ සිර කුටිවල දුරකතන-සිම්පත්


(ජයන්ත සමරකෝන්)
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන දිනෙත් මිලාන් හෙවත් ‘ඌරු ජුවා’ සහ මොහොමඩ් හජීම් මොහොමඩ් ඉම්රාන් නමැත්තන්ගේ සිර කුටිවලින් දුරකතනයක සහ සිම්පතක් අද (25) බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
 
ඌරු ජුවා නමැත්තාගේ සිරකුටියේ සිවිලිමකින් ජංගම දුරකතනය ද, කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සිරකුටියේ ඇඳුම්වල සඟවා තිබී සිම්පත ද සොයා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ.
 
බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකු මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇතැයි ද පැවසේ.
 
විශේෂ ගණයේ රැඳවියන් 22 දෙනෙකු රඳවා සිටින සිර මැදිරි 22ක් මෙහිදී දැඩි පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඊට පැය ගණනාවක් ගතවී ඇතැයිද දැනගන්නට තිබේ.
 
කංජිපානි ඉම්රාන් නමැත්තා රඳවා සිටි සිරමැදිරියේ සඟවා තිබී මීට පෙර අවස්ථා දෙකකදී ම ජංගම දුරකතන 2ක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.