‘ඇමෙරිකානු හඬ‘ මධ්‍යස්ථානය පිහිටි ඉරණවිල භූමිය විදුලිබල මණ්ඩලයට ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)

 
ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
 
ඒ සඳහා ඇමැතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
 
ඉරණවිල පිහිටා තිබූ ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය වසා දමා ඇති අතර, එහි ඉඩම සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා රජයට බාරගෙන තිබේ.
 
එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි භූමිය අක්කර 400ක් පමණ වන අතර, ස්වාභාවික වායු බලාගාරයක් සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට එම ඉඩම වඩාත් සුදුසු බව ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
 
විදුලි බලාගාර ඉදිකිරීමේදී සුදුසු ඉඩමක් සොයාගැනීමේ ගැටලුවට මෙමගින් විසඳුමක් ලැබෙන බැවින් මෙම ඉඩම බදු ගිවිසුමක් මත විදුලි බල මණ්ඩලයට ලබාදෙන්නැයි ඇමැතිවරයා ඉල්ලා ඇත.