‘අධිකරණයේ ගරුත්වය රකින්න‘


ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවට අග විනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම ගැන තම වික්ෂිප්ත භාවය පළ කරන අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ අග විනිසුරු ගරුත්වය හා උත්තරීතර භාවය සුරැකෙන ආකාරයෙන් අග විනිසුරු ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

මෙම සංගමය මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ප්‍රතිඵලය නොතකා හිටපු ජනාධිපතිට ධුරයේ රැඳී සිටීම සඳහා සාකච්ඡාවක් පැවැති බව කියන අවස්ථාවක අග විනිසුරු අරලිය ගහ මන්දිරයේ සිටි බවට රහස් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ආරම්භ කළ පරීක්ෂණය ගැන අධිකරණ සේවා කොමිසම දැඩි කනස්සල්ල පළ කරන බව එහි විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

අපරාධයකට සම්බන්ධ වීමේ ඉඩකඩ කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේදී කුමන්ත්‍රණයක් සිදුවූයේ යැයි කියන වේලාවේ අග විනිසුරු එහි සිටීම ගැන තම සංගමය වික්ෂිප්ත භාවය පළ කරන බවද මෙවැනි වැදගත් ප්‍රශ්නවලදී අධිකරණය පරම හා ඒකාන්ත ලෙසම අපක්ෂපාතී වීම වැදගත් බව සංගමය අවධාරණය කරයි.

එවැනි අවස්ථාවලදී අපේ රාජකාරිය විය යුත්තේ දේශපාලන හා විධායක තීන්දු තීරණවලින් ඉවත්වී සිටීම බවත් සංගමය අවධාරණය කරන බව එහි ලේකම් රංග දිසානායක මහතා මෙම නිවේදනයෙන් කියයි.