‘අත දුන් සඟරාවට පලා බෙදලා‘
අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්නපත්‍රයකින් රුපියල් දහස ගණනේ මුදල් අය කර ලබා දුන් උපකාරක පන්ති ගුරුවරයා විභාගය ආරම්භ වීමට පෙර දින පළ කළ ප්‍රසිද්ධ සඟරාක ඔහු නමින් පළවූ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර ලොකු වෙනසක් ඇතැයි ද, පන්තියට දුන් ප්‍රශ්න දහ අටෙන් එකක්වත් එහි නැති බව ද ගුරු සංගම් කියයි.
මේ ගුරුවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන නගර කිහිපයකම උපකාරක පන්ති කරන බව කියති.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ එම ගුරුවරයා සාමාන්‍යක පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ලබා දුන්නේ සිය අත්දැකීමෙන් අනුමාන කර නම් 10 වැනිදා පළ කළ සඟරාවේ එම අනුමාන ප්‍රශ්න 18 නොතිබීම ගැටලුවක් බවයි.
මේ අතර විභාග මධ්‍ය ස්ථානයක් පැවති රාගම පාසලක විදුහල්පතිවරයකු සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයට පෙර දින සවස එම විද්‍යාලයට සිසුන් පිරිසක් ගෙන්වා උගන්වා ඇති බවත්, ඒ සඳහා එම විද්‍යාලයේ සිසුන්ට අමතරව වෙනත් විද්‍යාලවල සිසුන් ද සහභාගී වී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඒ ගැන විදුහල්පතිවරයාගෙන් ලංකාදීප කළ විමසීමකදී පැවසුවේ වසර 30ක පමණ අත්දැකීමක් ඇති තමා එලෙස විෂය කරුණු සාකච්ඡා කළත් අනුමාන ප්‍රශ්න සාකච්ඡා නොකළ බවයි. ගුරු සංගම් කියනුයේ විභාග මධ්‍යස්ථානයක එලෙස කටයුතු කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර උපකාරක පන්තියක උගන්වා ඇතැයි ද, මීගමුවේ උපකාරක පන්තියක ද එවැනි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කර ඇතැයි ද කියති.
මෙවැනි ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ කල්මැරීමේ පිළිවෙත ගැන විවේචනය කරන ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුනේ නැතැයි කීමට අධ්‍යාපන ඇමතිවරයා සහ විභාග කොමසාරිස්වරයා උත්සුක වුවත් මේ සිද්ධිය ගැන ඔවුන් පසුගාමී පිළිවෙතක් අනුගමනය කරන බවයි.
විභාගය ලියමින් සිටියදී උත්තරයක් දෙකක් කොපි කළ සිසුවකුට දීර්ඝ කාලයකට විභාග තහනම් කිරීමට දෙන ප්‍රමුඛත්වයවත් ජාතික වැදගත්කමකින් යුතු විභාගයක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කොපිකර විභාගයට පෙර ලබා දීම සෙවීමට නොදක්වන බව ද ගුරු සංගම් නියෝජිතයෝ පවසති.
ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට දිගින් දිගටම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් තිස්සේ දිගින් දිගටම උත්සාහ කළත් එය අසාර්ථක විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි. මේ වන විට 25කටත් අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඒ මහතා කීවේය.

