‘අගමැති කමිටුවත් උප්පරවැට්ටියක්’ - ජවිපෙ කියයි


බිඟුන් මේනක ගමගේ 
 
පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුව ද ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක් මිස විසඳුම් මගක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
නව මැතිවරණ ක්‍රමය බිහි කළ ආණ්ඩුව තුළම පක්ෂ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කණ්ඩායම් වශයෙනුත් මතභේදයක් නිර්මාණය වී ඇතැයි ද පළාත් සභා මැතිවරණය කල්යන්නේ එහි ප්‍රතිපලයක් හැටියට යැයි ද ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
 
සීමා නිර්ණය කමිටු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය තේරුම් ගත හැකි නමුත් ආණ්ඩුව එය පරාජයට පත්කිරීමෙන් අදහස් කළේ ඡන්ද කල්දාගැනීම පමණකැයි ද මන්ත්‍රීවරයා කීය.
 
‘ලංකාදීප’ සඳුඳා හමුව දේශපාලන සාකච්ඡාවට එක් වෙමින් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙම අදහස පළ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාගැනීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට කතානායකවරයා තීන්දු කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.
 
අගමැති කමිටුවෙන් වෙන්නේ තවත් මාස දෙකක් කල්මැරීම යැයි  කී හෙතෙම එජාපය පැරණි ඡන්ද ක්‍රමයටත් ශ්‍රීලනිපය නව ඡන්ද ක්‍රමයටත් කැමැති තත්ත්වයකදී ස්ථිරසාර විසඳුමකට යෑමට එමගින් අවස්ථාව උදාවීම සැක සහිත යැයි අවධාරණය කර කීය. 
 
තමන්ම නිර්මාණය කළ කමිටු වාර්තාවට විරුද්ධ විමෙන් ආණ්ඩුව කළේ විකාරයක් යැයි ද ජවිපෙ එම අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ආණ්ඩුවේ දේශපාලන වුවමනා ඉටුවීමට ඉඩ නොදිය යුතු නිසා යැයි ද විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.