‘19ට අත ඉස්සීම තරම් ගෞරවයක් තවත් නෑ‘


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  විවාදය අරඹමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති පනත 10.11ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

‘මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම ඓතිහාසික වරප්‍රසාදයකි‘  යි ජනපති කීවේය.

‘මෙම ඓතිහාසික සංශෝධනය අඟහරුවාදා (28) සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්තෘතියක් ඉදිරිපත් කිරීමට මුල් වූ ඩී එස් හා එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක නායකයන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියටත් අප ගෙන යා යුතුයි.

විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතලවලට ශ්‍රීලනිපය එරෙහි වුණා. 1999 දී එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බව එජාපයත් ප්‍රකාශ කළා. එම අත්තනෝමතික බලතල ඉවත් කිරීමට ඉන් පසු පැවැති ආණ්ඩු නොයෙක් අවස්ථාවල දී කියා සිටියත් එය ඉටුවූයේ නෑ. මහින්ද රාජපක්ෂ පාලනයත් පැහැදිලි ලෙස පැවසුවේ එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බවයි. එහෙයින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු යහපත් නීති පැනවීමේ අවශ්‍යතාව පාසල් දරුවන් පවා අගය කරනවා.‘

‘විධායක ජනාධිපතිධුරයට පත් වූ පුද්ගලයකු වශයෙන් තමා එහි බලතල ඉවත් කිරීමට කැමති වුණා. මම මා ගැන කියනවා නොවෙයි.  එම බලතල ඉවත් කිරීමට මා තරම් නම්‍යශීලී වූ තවත් පුද්ගලයකු ඇත්දැයි සිතා ගන්නට බැහැ.මේ ව්‍යවස්ථා සංශෝධනයටත් රාජ්‍ය පාලනයේ යහපත් ගුණාංගවලටත් අන්තර්ජාතික වශයෙන් ලොකු සහායක් ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයත් සහාය දක්වනවා. ප්‍රජාතන්ත්‍ර වාදය රකින හැටි, දූෂණය වංචාව, මානව හිමිකම් මර්දනය නොමැතිව අප රට ගෙන යන ආකාරය ගැන ඔවුන් සෑහීමකට පත් වී සිටිනවා.

විධායක ජනාධිපතිරධුයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව මහින්ද රාජපක්ෂ මහතාගේත්, මාගෙත් මැතිවරණ ප්‍රකාශයන්හි සටහන් වෙනවා. ලක්ෂ 120ක් පමණ ඡන්ද දායකයන් පැහැදිලිවම කියා ඇත්තේ එය වෙනස් කළ යුතු බවයි. වසර 37ක් 28ක් පුරා එම ක්‍රමය වෙනස් කිරීමට මහජනයා උත්සාහ කළා. නමුත් සිදුවී ඇත්තේ කවරාකාරයකින් හෝ ජනාධිපතිගේ බලතල වැඩි වීම පමණයි. ජනාධිපතිට අසීමිත බලතල ලැබෙන 18 සංශෝධනය සම්මත කර ගත්තා. 18න් කියැවෙන්නේ ජනාධිපතිට ධුර දෙකකට වඩා තරග කළ හැකි බවයි. මා ඇතුළු ශ්‍රීලනිප සියලු දෙනා ඊට එදා සහාය දුන්නා.

එම ක්‍රමය වෙනස් කළ යුතු බවට අද යම් එකඟත්වයක් ඇති වී තිබෙනවා. ගැටළු නිරාකරණය කරගෙන ශ්‍රී ලංකාවේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් යළි ආරක්ෂා කරමින් එම ඓතිහාසික ගෞරවය පක්ෂ භේදයෙන් තොරව සියලුම දේශපාලන පක්ෂවලට ලබා ගැනීමට අද සිට දවස් එක හමාරක් තිබෙනවා. එහෙයින් ඒ වාසනාව උදා කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා‘

ජනපතිගේ කතාවට මිනිත්තු 17ක් ගත විය.

11048760_10153190234471327_1827064487261839744_n 11159497_10153190234536327_844138124069298864_n 11170330_10153190234541327_2961482610556582072_n 11193312_10153190234601327_8290396651709618422_n