(විනීතා එම් ගමගේ)
පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩවල දී සක‍්‍රිය දායකත්වයක් නොදෙන ආසන සංවීධායකයන් ගැන යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නට සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
16 කණ්ඩායමේ බොහෝ දෙනෙක් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩවල දී සහය දෙන බවත් සමහරු සාකච්ඡාවල දී පමණක් සහභාගි වන අතර ක‍්‍රියාකාරි නොවන බවත් හෙතෙම කියා සිටියේය.
16 කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ සිටියදීත් ආණ්ඩුව අපහසුවට පත් වන වැඩ කළේ යැයි කී දිසානායක මහතා යම් තැනක හිඳ එතැනට යටි කූට්ටු වැඩ කරනවා නම් ඒ අය විශ්වාස කරන්නේ කෙසේ දැයි විමසා සිටියේය.
උදේ ඇති මතය දහවල් වන විට වෙනස් වන දේශපාලකයන්ගෙන් රටට වැඩක් නැති බවත් ජනතාව ඔවුන් විශ්වාස නොකරන බවත් කී අමාත්‍යවරයා අඳුරේ වැටුණු වලේ දහවල් වැටෙන්නේ කුමට දැයි විමසීය.
16 දෙනා යැයි කියතත් එම කණ්ඩායමේ 16 දෙනෙකු නොමැති බවත් ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍රයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.