‘ බස් ගැන දැනගන්න ජංගම දුරකථන යෙදවුමක්‘


( ඩයනා උදයංගනී )
 
මගීන්ට බස් රථයක් පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් නිර්මාණය කළ ‘zMYBUS lkZ’ ජංගම දුරකථන යෙදවුම (Mobile Passenger App) එළිදැක්වීම හෙට (7) සිදුකෙරෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
 
ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ඇතැම් අවස්ථාවලදී බස් රථයක් එනතුරු පැය ගණනක් මහමග සිටින්නට සිදුවන අතර බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීම වැනි අවස්ථාවකදී ඒ බව දැනගැනීමේ ක්‍රමයක් ද මගීන්ට නැත.
 
මෙම තත්ත්වය සළකා බලා මගීන්ට බස් රථයත් පැමිණෙන වේලාව දැනගැනීමට හැකි අයුරින් මෙම ආසන්නයේම පැමිණෙන බස් රථවල තොරතුරු ලබාගත හැකි මෙම දුරකතන යෙදවුම නිර්මාණය කර තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිසම විසින් මෙම දුරකතන යෙදවුම සකස් කර තිබේ.
 
ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පුද්ගලික සමාගමකට පවරා දී තිබුණත් ඔවුන් සකස් කළ යෙදවුම අංගසම්පුර්ණ එකක් නොවීම නිසා එය අසාර්ථක වූ බවත්, පසුව ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන තරුණ උපාධිධරයෙක් වන නුවන් සෙනවිරත්න මහතා විසින් මෙම යෙදවුම නිර්මාණය කර ඇති බවත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ජංගම දුරකථන යෙදවුම ඔස්සේ බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය ආදිය දැනගැනීමට මෙන්ම අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමටත්, කාර්ඞ්පතක් මගින් ගෙවීමට ගාස්තු ගෙවීම ආදිය සඳහාත් පහසුකම් සලසා තිබේ.

මෙය නිර්මාණය කළ නුවන් සේනාරත්න මහතා යෙදවුම ජනගත කරන දිනයේදී ඇගයීමට ද පියවර ගන්නා ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇත.