( නාලක සංජීව දහනායක)
පස්වලට රත‍්‍රං මිශ‍්‍රකර පිටරට යැවීමේ ජාවාරාම පිළිබඳ පරීක්‍ෂණ ඉහළ නිළධාරීන්ගේ බලපෑම් මත අතරමඟ නතරවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.
එවැනි පස් කන්ටේනර් කිහිපයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නිසාවෙන් බරපතල සමාජ දේශපාලන අර්බුධයක් නිර්මාණය වී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසම කවදාවත් අහෝසි කරන්න බැහැ. මෙය අහෝසිකිරීමටනම් බේරුම්කරණයට යා යුතුයි. එය සිදුවන්නෙත් සිංගප්පූරු ක‍්‍රමයටයි. 1815 දී අත්සන්කළ කන්දඋඩරට ගිවිසුමෙන්වත් මේ ආකාරයේ දරුණු පාවාදීමක් සිදුවුනේ නැහැ. එම ගිවිසුමටත් සිංහල පිටපතක් තිබුණා.
නමුත් මේ ගිවිසුමට සිංහල පිටපතක් නැහැ. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම රටට කොඩිවිනයක්. යම්කිසි විදියකින් එක්සත් ජාතික පක්‍ෂයට සම්පූර්ණ ආණ්ඩු බලයක් ලැබුනොත් රටට සිදුවන විනාශය කෙබඳු දැයි මෙම ගිවිසුමෙන් මනාව පෙන්නුම් කෙරෙනවා.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.