‘ ණයක් දෙනවානම් සෑම කලාකරුවෙක්ටම දෙන්න ‘


(විනීතා එම් ගමගේ)

‘කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක  වන්නේ නම් එය එදිනෙදා මුදලක් සොයාගෙන ජීවත් වන අහිංසක කලාකරුවන් වෙනුවෙන් ද ක්‍රියාත්මක වියයුතු‘ යැයි ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට 4% ක පොලියට ණය දෙන්නේ නම් කලාකරුවන්ට ඊට අඩුපොලියකට හෝ පොලි රහිත ණයක් ලබා දියයුතු යැයි ද හෙතෙම කියා සිටියේය. 

වැලිසරගේ මහතා මේ අදහස් පළ කළේ ජන නියමු කලාකරුවන් ගේ සංගමය විසින් බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි
 
එහි දී තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින දහසකුත් එකක් ප්‍රශ්න අතර කොරෝනා ව්‍යසන තත්ත්වය හේතුවෙන් කලාකරුවන් ද මාස තුනක් තිස්සේ අර්බුදයක සිටින බවය.

කොරෝනා ව්‍යාධියට වැඩි ව්‍යාධියක් එහි පවතිතැයි කී වැලිසරගේ මහතා කලාකරුවන් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටී ඇතැයි ද අගමැතිවරයා කලාකරුවන් කිහිප දෙනෙක් පමණක් කැඳවා සංවිධානගතව තම ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් එය විධිමත් වැඩ පිළිවෙලක් නොවන බව ද කීය.
 
බැංකු ණයක් දිය හැකි බව කී නමුත් එය වැඩ පිළිවෙලක් නොවූ බවත් ලංකා ලේඛක සංවිධානය වැනි සංවිධාන මේ ගැන හඩක් නැගී යැයි ද සමස්ත කලාකරුවන් නියෝජනය වන අන්දමේ පුළුල් වැඩ පිළිවෙලක් ඇති විය යුතු යැයි කී නමුත් සංවිධාන ගතව පැමිණි ඉතා සුළු පිරිසට සහන දෙන ලෙස බැංකුවලට උපදෙස් දී ඇති බවත් ඔහු කියා සිටියේය. 

අනිවාර්යයෙන් ණයක් දිය යුතු අංශ රාශියක් ඇති බව ආණ්ඩුව වටහා නොගත් බව ද වැලිසරගේ මහතා  සඳහන් කළේය. 

බැංකුවට ගියවිට ලේඛකයන් මුර්ති ශිල්පීන් මේකට අදාල නැතැයි පවසන්නේ යැයි ද පසුගිය රජයට කලින් පැවැති රජයේ දී යෝජනා වූ ණය මුදල ලබා දීම පැවරුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට බවද එය ගැලපෙන පරිදි සිදුවු බව ද ඔහු කීය. විධිමත් වැඩ පිළිවෙලක් සේ මෙය වහා ක්‍රියාත්මක විය යුතු යැයි ද ඔහු පැවැසීය. 

ලංකා ලේඛක සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ එහි  ලේකම් ප්‍රවීන ලේඛක  කමල් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට කොරෝනා උවදුර මැඩ පැවැත්වෙද්දී සමහර කණ්ඩායම්වලට පමණක් සහන දෙන්නට කටයුතු කරන බව පෙනී යන බවය. 

හිමිකම් ඇති සියලු කලාකරුවන්ට එම හිමිකම් ලැබිය යුතු යැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවන්ට දුන් ණය මුදල වැනි සංවිධානගතව ලබා දෙන යම් සහනයක් වත්මන් රජයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කළ බව ද පෙරේරා මහතා කීය. 

ආධාර නොව ණයක් දෙන්නේ නම් පොදුවේ සියලු කලාකරුවන්ට දෙන්නැයි හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය. සංවිධාන 34 ක් පමණ ණය ලබා දීම සඳහා තෝරාගෙන ඇති බවත් එයි න් 15 ක් පමණ සංගීත කණ්ඩායම් බවත් පෙන්වා දුන් කමල් පෙරේරා මහතා ඒවා සියල්ලම පාහේ විශාල ආදායම් ලබන සංවිධාන යැයි ද කියා සිටියේය. 

ගමේ ගොක්කොල කලාව කරන අහිංසක කලාකරුවන් වෙනුවෙන් යමක් කළ යුතුව තිබිය දී සිදුවන්නේ එය නොවන බවත් තෝරාගත් කලාකරුවන් කිහිපදෙනෙකුට විශේෂ ණයක් දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට තමන් දැඩිසේ විරුද්ධ වන බව ද හෙතෙම සඳහන් කළේය.


බත් ඇති තැනට කොසුත් බෙදන්නට එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු තව දුරටත් කියා සිටියේය. 
ජන නියමු කලාකරුවන් නියෝජනය කරමින් අදහස් දැක්වූ ප්‍රවීන ලේඛක රවි සිරිවර්ධන මහතා කියා සිටියේ පොදු රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවට කිහිප දෙනෙකුට සැලකීම පිළිබඳව විරෝධය පලකිරීමට සූදානම් බවය. 

අනුග්‍රහය දක්වා රැක බලාගත යුතු පිරිස් වෙනුවෙන් රජය යමක් කළ යුතු අවස්ථාව පැමිණ ඇතැයි ද රුපිය්ල 5000 දීමනාව දෙන අවස්ථාවේ පවා එය දෙනවාට වඩා නොදී සිටින්නේ කෙසේ දැයි බලමින් සිටියේ යැයි ද ඔහු සඳහන් කළේය. 

ලංකවේ පටිගත කිරීම් ශාලාවල පටිගත කිරීම් සිදු නොවන බවත් සංවිධානගත පිරිසක් නොවන මේ පිරිස ගේ නාමාවලියක් වත් සොයාගන්නට රජයට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවන් රැකවරණය දියයුතු පිරිස් සොයා රැකවරණය දීම රජයේ වගකීම යැයි ඔහු සඳහන් කළේය. 

ඊළඟ පාර්ලිමේ්න්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරවිය යුතු යැයි මතයක් පවතින්නේ යැයි ද පාර්ලිමේන්තුව තුළ විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන් පිරවීමේ උවමනාවක් ජනනියමු කලාකරුවන්ට ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 

එහෙත් ඒ පාර්ලිමේන්තුව සඳහා නැවත නාමයෝජනා කැඳවා ඇත්තේ කලින් සිටි දාමරික අශිෂ්ඨ මිනිසුන් ම බවත් කොටලුවන් තරඟයට දමා අශ්වයින් දිනාවි යැයි බලා සිටිනවා වැනි බවත් සිරිවර්ධන මහතා කීය. 

ප්‍රවීන මාධ්‍යවේදීනි අනුල  ද සිල්වා මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ කලාකරුවන් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ගොනුවී සිටිය යුතු බවත් එවැනි ලැයිස්තු ඔවුන් සතුව ඇති නමුත් එසේ ඇති බව ඔවුන් නොදන්නා බවත් ය. 

සංස්කෘතික අමාත්‍යංශයට හා දෙපාර්තමේන්තුවට පත්ව ආ යුත්තේ ක්‍ෂෙත්‍රය ගැන දැන උගත් අය බවත් එවැන්නක් සිදුවන බවත් නොපෙනෙන බවත් කී අනුල ද සිල්වා මහත්මිය සංස්කෘතික දෙපාර්තමේන්තුව නගා සිටුවීමට කිසිදු වැඩ පිළිවෙලක් නැතැයි ද පැවැසුවාය. 

රුපියල් 5000 දෙන අවස්ථාවේ ආදායමක් නැති ලේඛක ලේඛිකාවන්ට ත් එම මුදල දෙන්නැයි කියන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවට පුලුවන්කම තිබුණත් එසේ නොවු බව ද ඇය කියා සිටියාය.

ඡන්දයෙන් පසු පත්වන ඇමතිවරයා හෝ ඇමතිවරිය සංස්කෘතියට කැමති ආදරය කරන අයෙක් විය යුතුයැයි ද ඇය කීවාය. 

චිත්‍ර ශිල්පී නුවන් තේනුවර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා, රංගන ශිල්පිනී දීපානි සිල්වා, ප්‍රවීන ලේඛක ඇන්තනි ජීවා, ප්‍රවීණ  දමිල කිවිවර කනි උමදි සාහිත්‍යවේදී දේ.වි. ගාල්ලගේ, රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.