ෆොන්සේකා නවලෝකෙන් ජාතික රෝහලට


හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලෙන් ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියම කළේය. පැන ගිය සෙබළුනට රැකවරණ දීමේ නඩුව අද විභායට ගත් අවස්ථාවේ පොන්සේකා උසාවි පැමිණ සිටියේ නැත. ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වා පැමිණ සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා කරුණු දක්වමින් කියා සිටියේ නවලෝක රෝහලෙන් ප්‍රතිකර ලබන ෆොන්සේකාට ආරක්ෂාව සැපයිමේදී බන්ධනාගාර නිලධාරීන් ගැටළු රැසකට මුහුණ පාන බවයි. ඊට පිළියම් වශයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලා සිටියේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අශෝක සේරසිංහ නිතිඥවරයා ඊට විරුද්ධ විය. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර  තෙන්නකෝන් ජාතික රෝහලේ වෛද්‍යවරයකු නොවුවත් ඔහුගෙන් උපදෙස් ලබා ප්‍රතිකාර සලසන්නැයි නියෝග කෙළේය.