ෆොන්සේකා දිගටම නවලෝකේ


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) අවසර දුන්නේය. ෆොන්සේකා දිගටම නවලෝක රෝහලේ ඉන්න ඉඩ දෙනවාද නැද්ද පිළිබඳව අද (9) අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහි දී එම විනිසුරු මඩුල්ල ෆොන්සේකා ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ නිර්දේශ ඉදිරිපත් වන තුරු ඔහුට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දෙමින් ඉකුත් අප්‍රේල් 25 වැනි දා කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙළේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ නව ලෝක රෝහලේ දී විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ ප්‍රතිකාර ගන්නා ඔහුට කොළඹ ජාතික රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකි බවයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී ෆොන්සේකාගේ ආරක්ෂාව තහවුරු  කිරීම සම්බන්ධයෙන්  ගැටළු ඇති වන බව බන්ධනාගාර කොමසාරිස් පෙන්වා දී ඇති බවයි. පෙනහළු රෝගයක් හේතුවෙන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට  මාරුකර යවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කෙළේ ඉකුත් හතර වැනිදාය.