හොරොන් ගිය ලක් කත අමාරුවේ


ඩුබායි රටට ඇතුළු වීමේ තහනමක් පනවා ඇති ශ්‍රී ලාංකික කතක ඩුබායි ගුවන්තොටේ දී ආගමන නිලධරයනට ඩිරාම් 10,000 ක් (රුපියල් 36,000) දී ගුවන් තොටින් පිටවී යාමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 39 හැවිරිදි කත කියා ඇත්තේ ගෘහ සේවිකාවක ලෙස 1996 දී එරටට ගොස් හාම්පුතාගේ නිවසින් පැන ගිය බවයි. ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කිරීමත් හාම්පුතාගේ නිවසින් පැනයාමත් සම්බන්ධයෙන් වැරදි කාරිය වූ ඇය දෙමාසයක සිරදඬුවමින් පසුව 2000 දී ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බව ඩුබායි නිලධරයෝ කියති. 2008 දී යළිත් සංචාරක වීසාවකින් ඇය රටට ඇතුළු වී ඇත්තේ 59 හැවිරිදි වෙළෙඳ සේවක සැමියාගේ උදව්වෙනි. ඇය ලිපි ද්‍රව්‍ය ගබඩාවක රැකියාවක්ද කර ඇත.