හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක්


රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා  ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය  කිරීමට උත්සහ කළ මත්ස්‍ය  අපනයන සමාගමක‍ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එහි  වටිනාකමට සමාන මුදලක්ද රේගුවට ගෙවා එම පොකිරිස්සන්  තොගය ආපසු රැගෙන යන ලෙස අදාල සමාගමට නියෝග කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එල්.පී ආරියරත්න මහතා විසින් සිදු කළේය.

පොකිරිස්සන් තොගයේ බර කිලෝග්‍රෑම් 737 කි.  

පෙට්ටි 37 ක අසුරා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 105 දරණ ගුවන් යානයෙන් මාලේ බලා ගෙන යාමට ‍එම පොකිරිස්සන්  ක‍ටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයට ගෙනවිත් ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ධීවර ආඥා පනතින් පෙබරවාරි මාසයේ  පොකිරිස්සන් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි. පොකිරිස්සන්ගේ ප්‍රජනන කාලය පෙබරවාරි මාසය වෙයි.

මේ පිළිබඳ විමර්ශණ ක‍ටයුතු  රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, දමින්ද ජයසිංහ යන නිලධාරීහු  සිදු කරති.