හොර දොස්තරවරුන්ට එරෙහි දඩය දහ ගුණයකින් ඉහළ දාන්න යයි


(දසුන් රාජපක්ෂ)

වෛද්‍යවරුන් ලෙස පෙනී සිට රෝගීන්ට ප්‍රතිකාර කරන බොරු දොස්තරවරුන්ට එරෙහිව අධිකරණ මගින් මෙතෙක් ලබා ලබාදුන් දඩ මුදල රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

හොර දොස්තරවරුන්ගේ සංඛ්‍යාව වාර්තා වීම ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එකී චෝදනාවන්ට වරදකරුවන් වන පුද්ගලයන්ට ලබාදුන් දඬුවම් සංශෝධනය කිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු අද (21) පැවසීය.

පවතින නීතිය සංශෝධනය කර හොර දොස්තරලාට එරෙහිව අලුත් නීති සම්පාදනය කරන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කර තිබුණු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

හොර දොස්තරවරුන්ට එරෙහිව රුපියල් 50,000ක දඩයට අමතරව වසර 5ක සිරදඬුවමක් ද නියම කෙරෙන පරිදි නීති සම්පාදනය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.