හිමාලේ යායක්ම හෝර්ටන්තැන්නේ


එකිනෙකට වෙනස් වර්ණ හා විවිධ හැඩයෙන් යුතුව  විසිතුරු මල් ගොමුවක් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යායනයේ තොටුපලකන්ද ප‍්‍රදේශයේ හා ලෝකාන්තයේද බහුලවම දකින්නට ඇත. වසර දොළහකට පසුව පිපිණු මේ නෙලූ විශේෂ  එකදේශීක හා ශ‍්‍රී ලංකාවට ආවේණික නෙලූ විශේෂයන් වන බව හල්දුම්මුල්ල ජාතික ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනය හා ඔසු උයන භාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියයි.

ලංකාවේ මේ දිනවල මල් පිබිදී ඇති නෙලූශාක අතර  සුදු කහ දම් ලාදම් පැහැ වර්ණ නෙලූ මල් ශාක සහ රත්පැහැති කඳෙන් යුතු  දම් පැහැති මල් සහිත නෙලූමල්ශාකද බහුලවම දක්නට ඇතිබව සඳහන් කරන මාරසිංහ මහතා ඒපිළිබඳ මෙසේ විස්තර කළේය.

‘දුටුවන්ගේ නෙත් සිත් පුබුදුවන ශ්‍රී ලංකාවට ආවේණික සහ ඒකදේශීක නෙලූ විශේෂ කීපයක්ම මේ අතර තිබෙනවා” ඖෂධමය ගුණයෙන්ද යුක්තවන මේ  විවිධ වර්ණ හා එකිනෙකට වෙනස් හැඩයෙන් යුතු නෙලූමල්  වර්ග විශේෂ තිහක් පමණ ලංකාවේ ඇතිබව කිවහැකියි” මෙම නෙලූමල් හඳුන්වන පොදු නාමය වන්නේ leafy strobilanthes ලීෆි ස්ත්‍රොබිලන්තස් වෙයි” Acanthaceae ඇකැන්තාසියේ කුලයට අයත්වේ”   

 නෙලූමල් ශාකවල නෙලූමල් සහ එම ශාකයේ ශාකයේ කඳ පොතු ආයුර්වේද ඖෂධ වශයෙන් භාවිතා කරනවා” නමුත් එය ලංකාවේදී ඖෂධ ලෙස බහුලව භාවිතා වන්නේනෑ.

ලංකාවේ පිබිදී ඇති නෙලූ මල් පිලිබඳ උද්භිද විද්‍යාත්මක නාම සහිතව කෙටි විස්තරයක් සිදුකල හැකියි.

01Strobilanthes anceps ස්ත්‍රොබිලෙන්තස් ඇන්සිපීස් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මල් බොහෝවිට සුදුපැහැතිය.

02 Strobilanthes Calycina ස්ත්‍රොබිලෙන්තස් කැලිසිනා උද්භිද විද්‍යාත්මක නාමයෙන්  යුතු නෙලූ මල් කහ පැහැතිය.

03 Strobilanthes diandra var.densa- ස්ත්‍රොබිලෙන්තස් ඩයෙන්ඩ‍්‍රා වර් පපර්ලිස් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුවන්වන  නෙලූ මල් දම්පැහැතිවේ.

04.Strobilanthes Flaccidifolius bright purple ස්ත්‍රොබිලෙන්තස් ප්ලැක්සිඩිෆෝලියස් බ‍්‍රයිට් පර්පල් යන උද්භිද විද්‍යාත්මක නාමය හඳුවන්නේ ශ‍්‍රිලංකාවට විදේශ රටවලින් හඳුන්වාදී ඇති නෙලූ විශේෂයකි.එය බොහෝවිට දීප්තිමත් දම් පැහැයක් ගනියි” මෙහි ප‍්‍රභේද ඉන්දියාවේද ඇත.

05 Strobilanthes hookeri ස්ත්‍රොබිලෙන්තස් හුකරි ලෙස උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අප රටේ නෙලූමල් විශේෂය සුදුපැහැතිය’

06.Strobilanthes Pulcherima –purple red stem ස්ත්‍රොබිලෙන්තස් පල්චරිමා පර්පල් රෙඞ් ස්ටීම් රතු කඳ සහිත දම්පැහති මල් ඇති ශාකයකි”

07.Strobilanthes Sexennis- Purple ස්ත්‍රොබිලෙන්තස් සෙක්සිනිස් පර්පල් යනුවෙන් හැඳින්වෙන උද්භිද විද්‍යා නාමය සහිත නෙලූමල් විශේෂය දම්පැහයක් ගනියි.

08.Strobilanthes Viscosa light purple ස්ත්‍රොබිලෙන්තස් විස්කොසා ලයිට් පර්පල් උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන්නේ ලාදම් පාට නෙලූමල් වර්ගයකි.

ඉහත සඳහන් නෙලූමල්  ලංකාවේදී මෙවර දැකගතහැකිව තිබෙනවා” ඒවායින් ස්ත්‍රොබිලෙන්තස් ප්ලැක්සිඩිෆෝලියස් නෙලූමල් හැරෙන්නට අනිකුත් නෙලූමල් වර්ග සියල්ල ලංකාවට ආවේණික ඒකදේශික නෙලූමල් ශාකවෙයි” එසේ නෙලූමල් පිලිබඳ විස්තර කළ පියල් මාරසිංහ මහතා  එම ශාකවල ස්වභාවය සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය”

‘ නෙලූමල් ශාක මනාව වැඩුණු පැලෑටි සහ හොඳින් වර්ධනයවූ කුඩා පඳුරු ලෙසින්ද ඇත.  මෙවර හොර්ටන්තැන්නේ උදාවී තිබෙන්නේ වසර දොළහකට වරක් මල්පිපෙන අවස්ථාවයි. වසර හතකට වරක් වසර හතරකට වරක්ද සමහර නෙලූ මල් ශාකවල මල් හටගන්නවා.එසේ මල් පිබිදෙන සමයේ එකම යායක් සේ ඇස් මානයේ පහල බෑවුම සිට ඉහළදෙසට නොයෙක් පැහැයෙන් මල්පිබිදී ඉතා මනරම් දසුනක් දිස්වේ” නෙලූ මල් ශාකවල මල් පිබිදෙන කාලයේදී නෙලූමල් ශාක ඇති ප‍්‍රදේශයේ සෑම නෙලූ ශාකයකම එකවර මල් පිබිදී තිබෙනු දකින්නට ලැබීම සුවිශේෂයි”

ලෝකයේ අතිශය චමත්කාර දර්ශනයක් ලෙස  අගය කළහැකි නේක වර්ණ සහ විවිධ හැඩැති නෙලූමල් සමූහයක් ලෙස පෙනෙන මේ සුන්දර දසුන හා සමානව චමත්කාරය දනවන දර්ශනයන් හිමාලය පෙදෙසේදී දැකගත හැකිවන්නේ වෙනත් මල් එකයායට පිපෙන සමයන්හිදියි” එසේ වුවද වසර දෙකකින් සහ වසරකට වරක් පිපෙන නෙලූමල්ද ඇත”

මෙය දේශීය විදේශීය සංචාරක පිරිස් පරිසරවේදීන්ගේ දහස් සංඛ්‍යාවකගේ අවධානයට යොමුවන ශ‍්‍රී ලංකාවේ ජෛවවිවිධත්යෙන් සපිරි ස්වාහාවික පාරිසරික වටිනාකම ඔපවත්වන අවස්ථාවක්” ලෝකයේ ඉන්දියාව මියන්මාරය මැඩගස්කරය වැනි ආසියානු කලාපීය රටවල Strobilanthes හෙවත් නෙලු මල්වල වෙනත් විවිධවූ ප‍්‍රභේද විශේෂ එකසිය තිහක් පමණ දක්නට ලැබෙනවා”

ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර වලදී මේ නෙලූ මල් හොඳින් අඹරා අක්‍ෂි අබාධ සඳහා ඇස්වටා බාහිර ආලේපයක් සේ භාවිතා කරනවා” ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාරවලදී ඇස්වටා ග‍්‍රන්ථි ඉදිමීම ඇස් රතුවීම වැනි වෙනත් අක්‍ෂි ආබාධ අවස්ථාවලදී මෙසේ නෙලූ මල් අඹරා ආලේපකිරීම සිදුකරනු ලබනවා. දම්පැහැති මල් බොහෝවිට මේ සඳහා භාවිතාවනවා. එසේම  නෙලූමල් ශාකවල කඳ පොතු අමුවෙන් අඹරා ගෙල ආශී‍්‍රත ග‍්‍රන්ථි ඉදිමුම තයිරොයිඞ් ග‍්‍රන්ථි ඉදිමීම වැනි අවස්ථාවල ඖෂධ වශයෙන් බාහිරව ආලේපනය කරනවා”

නෙලූ ශාකයේ මල් කඳපොතු ඖෂධ ලෙස භාවිතය බාහිර ආලේපනයෙන් පමණක් දැනට සිදුවන්නේ. මේවනවිට ලංකාවේදී නෙලූ දේශීය ඔසුවක් සේ භාවිතය  භාවිතාවන්නේ අවම වශයෙන් . ඒ පිළිබඳ ආයුර්වේද පර්යේෂණ සිදුවෙමින් පවති. ගුණදායක ඖෂධයක් ලෙස භාවිතය පහසුවන සේ නෙලූ මල් හා කඳ පොතු කොටස් යොදා ක‍්‍රීම් වර්ගයන් හැටියට නිෂ්පාදනය කරන්නේනම් කල්තබාගතහැකිවනවා” බහුලව ඔසු වශයෙන් භාවිතයේ නොවන්නේ වසර දොළහක් තරම් දිගුකලක් නෙලූ මල් පිපෙන සමය උදාවීමට කල්ගතවන බැවින්ද වියහැකියි”

වසර කීපයකට වරක් පිපෙන හෙයින් කෘෂිකාර්මික වගාවක් ලෙස නිෂ්පාදනයේ කාලපමාව ඇති නෙලූශාකයෙන් ඔසු නිෂ්පාදනය සේම සත්ව අහාරයක් සේ භාවිතය පිළිබඳ පර්යේෂණාත්මකව කටයුතු කිරීම අවශ්‍යයි” කාලාන්තරයකින් උදාවන මේ අවස්ථාව ආර්ථික වශයෙන් සංචාරක කර්මාන්තයට වාසිදායක තත්වයක් සේම ඔසු නිෂ්පාදනය සහ සත්ව ආහාර සෙයින් භාවිතය සම්බන්ධවද අවධානය යොමුවිය යුතුය.

මේ ශාකවල මල් පිබිදෙන සමයදී පිපිණු මල්  මාස තුනක් පමණ පවතිනවා” මල් හටගැනීමෙන් පසුව ශාකයේ මලෙන් හටගන්නා ඵලය හෙවත් ගෙඩිවල ඇතිබීජ මගින් ව්‍යාප්තව පැල රෝණය සිදුවනවා”  ඵලයේ බීජ සුළගේ විසරීයාමෙන් කුඩා පැල රෝපණය හා ව්‍යාප්තිය සිදුවනවා”

 මේ නෙලූ බීජ හෙවත් ඇට වලිකුකුලන්ගේ රසවත් ආහාරයක්. ඒ පිළිබඳ ජනප‍්‍රවාදයක් තිබෙනවා.වලිකුකුලන් තම සතුරන් ගැන පවා හැඟීමක් නැතිව නෙලූ ඇට අහාරයට ගනිමින් රසවිඳිනවා. ශ‍්‍රී ලංකාවේ ජාතික පක්‍ෂියා වන වලි කුකුළා ආරක්‍ෂා කළයුතුයි. මේ නෙලූ ඇට වලිකුකුලන්ට කෙතරම් රසවත්ද කීවොත් ඔවුන් නෙලූ ඇට භුක්තිවිඳිමින්ම ඉතා පහසුවෙන් තම සතුරන් වන කොළ දිවියන් හිවලූන් වැනි වෙනත් සතුන්ගේ ගොදුරුබවට පත්ව ජීවිතක්‍ෂයට පත්වනනේය.     

ජනප‍්‍රවාදයෙන් කියවෙන්නේ නෙලූ ඇට වලිකුකුලන් අහාරයට ගත්පසුව වලිකුකුලන්ගේ ඇස්රතුවී අභ්‍යන්තරවශයෙන් හානි සිදුවන නිසා වලි කුකුළන් පියාසර කරනවිට කඳු ප‍්‍රදේශවල ගැටී මියයන බවයි. ඒ පිළිබඳ සොයාබැලිය යුතුය. එය නිශ්චිතවම කිවනොහැකියි.

මේ කාලසීමාවේ ලංකාවේ ප‍්‍රධාන වශයෙන්ම  හෝර්ටන්තැන්න ජාතික උද්‍යනයේ මාර්ගය දෙපසද තොටුපලකන්ද ප‍්‍රදෙශයෙද් ලොකාන්තයේද සුදු දම් කහ රෝසපැහැති නෙලූ මල් උඩුවියන් පලසක් සේ දකින්නට ඇත. නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිතවද  නෙක නෙක පැහැයෙන් පිපී විවිධ හැඩ ඇති නෙලූ මලින් සැදුණ  සොඳුරු දසුන දැකගත හැක.

මේ චමත්කාරය නරඹන්නට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන් සොබාදහමින් දයාද කළ මේ සොඳුරු දසුන දැකබලා රස විඳියි” ඇතැම් කඳුකර ප‍්‍රදේශවල ගෙවතුවල සංචාරක නිකේතන වැනි ස්ථානවලද නෙලූමල් දක්නට ඇත.

නමුත් මේ චමත්කාරය  නැවත දකින්නට වරම් ලබන්නට නම් වසර 2024 වන තෙක් මේ සොඳුරු පරිසරය ජෛවවිවිධත්වයට හානි නොවනසේ  ක‍්‍රියාකළ යුතුවනවා” පොලිතීන් වැනි පරිසර හානිකර දිරාපත් නොවන අපද්‍රව්‍ය  පරිසරයට මුදාහැරීමද නොකලයුතුය” ඒ සඳහා පරිසරය පිළිබඳ දැනුවත් විය යුතුයි” පරිසරයට සංවේදී වියයුතු බවද මෙහිදී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පැවසුවේය”

නෙලූ මල් පිපිණු අසිරිය නරඹන්නට ශ‍්‍රිලංකාවේ උතුරුදෙසින් එන්නවුන් අඹේවෙල පට්ටිපොල මාර්ගය හරහාද පට්ටිපොල ඔහිය මාර්ගය ඔස්සේ දකුණින් පැමිණෙන සංචාරක පිරිසද සඳහාද විවෘතව පවතින ප‍්‍රධාන මාර්ගයන්ය” මෙම මාර්ග දෙකෙන්ම ලෝක උරුමයක් වන හෝරටන්තැන්න ජාතික වනෝද්‍යායනය වෙත පිවිස නෙලූමල් අසිරිය හා තවත් බොහෝ දුර්ලභ ආවේණික සත්ව හා ශාක විශේෂ දැක දැනහැඳින ගන්නට හැකිවේ”    

නෙලූ මල් පිළිබඳ අපකල විමසුමදී කරුණු ඉදිරිපත් කරමින් අප දැනුවත් කළ හල්දුම්මුල්ල ජාතික ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනය ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතාට අපගේ සුවිශේෂි ස්තුතිය පිරිනැමේ”  නෙලූමල් ඡායාරූප ලබාගැනීමේදී සහයදැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සුමේධා අබේසේකර මහත්මියටත් වෘත්තීය ඡායාරූප ශීල්පී   චන්දික විජේරත්න මහතාටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ  කසුන් මාතර ආරච්චි  අරුණ නිශ්ශංක මහත්වරුන්ටද අපගේ ගෞරව ප‍්‍රණාම ස්තුතිය පිරිනැමේ.