(නිමන්ති රණසිංහ)
වැඩ තහනම් කරනු ලැබ සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධ විමර්ශන මහේස්ත්‍රාත්වරයා යටතට පවරාගෙන ඉදිරියට සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන මාර්තු මස 02 වැනිදා ලබා දෙන බව නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (26) තීරණය කළේය.
මෙම සිද්ධිය මහේස්ත්‍රාත්වරයා භාරයට ගෙන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන ලෙසට නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ සිද්ධිය අද (26) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

