හිටපු ජනපතිට විරෝධතා ගොනු කරන්න කල් දෙයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට සම්බන්ධයෙන්  විරෝධතා ඇත්නම් ඒවා ඉදිරි  සති තුනක් ඇතුළත ගොනු කරන්නැයි එහි වග උත්තරකාර  හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) කල්  ලබා දෙන ලදී.
 
 ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන අය විසින් ඉදිරිපත් කළ මූලික  අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මෙලෙස හිටපු ජනාධිපතිවරයාට කල් ලබා දෙන ලදී.

මෙම පෙත්සම  එල්.ටී.බී.දෙහිදෙනිය , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි. එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා පෙනී සිටියේය.
 
තම සේවාදායකයා වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙනන්නැයි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ අනුව අද දින සිට සති තුනක් ඇතුළත එම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට කල් ලබාදුන්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එතැන් පටන් සති තුනක් ඇතුළත ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
 
ඒ අනුව පෙත්සම් ජුනි මස 26 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
 
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් පෙන්වා දී ඇත්තේ අධිකරණයට  අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මඟින් බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් නියම කර එය වසර හයකින් ගෙවී යාමට නියෝග කළ බවය.
 
 මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ අයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ අගතියක් සිදුවන බව පෙත්සම්කරුවන්  කියා සිටිති.
 
ඒ අනුව ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම තුළින් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඊට අමතරව ඔහු විසින් ප්‍රදානය කරන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ වග උත්තරකාර හිටපු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහත්වරුන් පෙනී සිටියහ.