(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා ගොනු කළ පෙත්සම ලබන මාර්තු 23 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කරන ලදී.
මෙම පෙත්සම විජිත් මළල්ගොඩ, එස්. තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගයට දින නියම විණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්ෂයේ විනය කමිටුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති හා සාමාජිකයින් ඇතුළු 14 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ඉතාමත් දිගු කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පවත්වා ගිය තැනැත්තෙකි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. පෙත්සම්කරු එම පක්ෂය බලයට පත්වූ විවිධ කාලයන්හි අමාත්‍ය ධූර තනතුරු රැසක් දරමින් සක‍්‍රීය දේශපාලනයේ නිරත වූවෙකි. එලෙස ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියදී එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් කටයුතු කරන බවට ජනමාධ්‍ය මඟින් දැන ගන්නට ලැබී තිබෙන බව සඳහන් කරමින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පෙත්සම්කරුට ලිපියක් එවා ඇත. ඒ සම්බන්ධයෙන් පක්ෂය හමුවේ හේතු දක්වන්නැයිද පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට ලිපියෙන් දන්වා ඇත.
පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට යොමු කල ලිපියට පිළිතුරු ලිපියක් යැවීමටද පෙත්සම්කරු කටයුතු කර ඇත. පසුව එම කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා පක්ෂය විසින් විනය කමිටුවක්ද පත් කළ බවත් , ඒ අනුව එම විනය කමිටුව සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇත. එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කළද තමන්ට ඒ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් කිසිවෙකුත් නිල වශයෙන් දැනුම් නොදුන් බවද පෙත්සම්කරු කියා සිටී.
එසේම පෙත්සම්කරුගේ මෙම පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බැවින් ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය අහෝසි කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යවා ඇති බවද පෙත්සම්කරුට දැනගන්නට ලැබී ඇත.
මෙලෙස තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවත් , එම තීරණය බල රහිත කරන ලෙසත් , තමන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙතු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.

