(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
සහල් කිලෝ ලක්‍ෂ හැටකට ආසන්න ප්‍රමාණයක් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මධ්‍යම සහ කුඩා පරිමාන වී මෝල් ගබඩාවල ඇති බවත් ඒවා වෙළදපොළට කඩිනමින් නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකසා සහල් හිඟයට පිළියම් යොදන ලෙසත් රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය රජයෙන් ඉල්ලයි.
පසුගිය වසරේ මාස් කන්නයේ (2018) රජය මගින් මිලදී ගත් වී කිලෝ 91000ක් (මෙට්‍රික් ටොන් 9000ක්) රත්නපුර සහ හම්බන්තොට මහ දිසාපතිවරු මගින් මීට මාසයකට පෙර එම දිස්ත්‍රික් දෙකේ මධ්‍යම සහ කුඩා පරිමාන මොල්හිමියන්ට සහල් කිරීමට ලබාදුන් බවත් එසේ දුන් සහල් ගබඩාවල මෙලෙස ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ ලේකම් එච්.ජී. ගුණදාස මහතා අප කළ විමසුමකදී කීය.
එසේ ලබාදුන් වී වලින් 95%ක් කොටා සැකසූ සහල් විශාල තොගයක් පෞද්ගලික මෝල්වල ඇති බවද එම සහල් වීරවිල ගබඩාවට බාරදිය යුතු වුවත් එම ගබඩාවෙන් දිනකට මිලදි ගනු ලබන්නේ ලොරි පහළොවක් හෙවත් කිලෝ ලක්‍ෂ දෙකක් වැනි වු උපරිම තොගයක් බවත් ඔහු කීය.
දැන් මොල් හිමියන් ළඟ සහල් කිලෝ හැට ලක්‍ෂයක් තියනවා. දවසකට ගන්නේ සහල් කිලෝ ලක්‍ෂ දෙකක් විතර. මෙහෙම ගියොත් මේ තියන සහල් තොග අරන් ඉවර වෙන්න තව මාස දෙකක්වත් ගතවෙයි. එතකොට මේ කොටපු සහල් නරක් වෙන්නත් පුලුවන්. වෙළදපොළේ සහල් හිඟ වුණාට රජයෙන් අරගත්තු වී කොටපු සහල් මෝල්වල තියනවා. ඒවා කඩිනමින් වෙළඳපොලට එවන ක්‍රමවේදයක් තමයි හදන්න කියලා අපි කියන්නේ.’
මොල් හිමියන් වීරවිල ගබඩාවට සපයන සහල් කිලෝවකට රුපියල් 72ක මිලක් දිසාපතිවරුන්ට ගෙවන බවත් දිසාපතිවරු මෝල් හිමියන්ට කෙටීමේ, ප්‍රවාහනය කිරීමේ සහ පැටවුම්, බෑමේ වියදම් ලෙස කිලෝවකට රුපියල් 04.50ක් ගෙවන බවත් ඒ මහතා පැවසීය.
හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් දෙකේ වී කිලෝ ලක්‍ෂ අසූපහක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වී කිලෝ පන්ලක්‍ෂ හැතෑපන් දහසක් මේ ආකරයට හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මෝල් හිමියන්ට සහල් කිරිමට ලබා දී තිබේ.
මේ අකාරයටම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් දෙකේද සහල් තොග එම දිස්ත්‍රික්කේ මධ්‍යම සහ කුඩා පරිමාන මෝල්වල ඇති බවද ගුණදාස මහතා සඳහන් කළේය.
ලබාදුන් වී තොගවලින් 65%ක සහල් ආපසු ලබාදිය යුතු අතර සපයන සහල් ඩබල් පොලිෂ් සහ සහල්වල කැඩුණු සහල් ප්‍රමාණය 20% නොඉක්මවිය යුතුයැයි කොන්දේසි මත වී කෙටීමට මෝල් හිමියන් බාරගෙන ඇති බවද රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ සභාපති වී.ජී.කරුණාදාස මහතා පැවසීය.
එම සහල් වරවිල ගබඩාවට බාරදුන් පසු දිසාපතිවරුන්ට ඊට අදාළ මුදල් ගෙවන බවත් දිසාපතිවරු හරහා කෙටීමේ ප්‍රවාහනය කිරිමේ කුලී තමන්ට ලැබෙන බව ඔහු කීවේය.
ප්‍රධාන නගරවල සතොස තොග ගබඩාවලට මේ සහල් තොග බාරදෙන්න ක්‍රමයක් සැලසීමෙන් වෙළදපොළේ හාල් හිඟයට පිළියම් යෙදිය හැකි බවද සහල් මොල් හිමියන්ගේ අදහසයි.
අපි කොටන සහල් කිලෝවකට දිසාපතිතුමාට දැන් ගෙවන රුපියල් 72/-යි අපේ වියදම 4.50යි එකතු කරලා ඒ මිලට මේ සහල් පෞද්ගලික වෙළෙන්දට අලෙවිකරන්න කියලා සහල් තොග තියන මෝල් හිමියන්ට අවසර දුන්නොත් සතියක් හමාරක් යනකොට වෙළඳපොලේ සහල් හිඟය නැති වෙයි. ඊට පස්සේ අපිට දීපු වී තොග අනුව රජයට ගෙවිය යුතු මුදල අපි පියවන්නම්. ඒක තමයි දැන් තියන සහල් හිඟය මගහරින්න තියන හොඳම පිළියමරත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ ලේකම් වරයා කීය.
තව මාසයක් ගතවෙද්දී 2019 මාස් කන්නයේ ගොයම් කැපෙන නිසා අලුත් වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන්ට තමන්ගේ ගබඩාවල ඉඩකඩ ලබා ගැනිමත් මේ නිසා ගැටලුවක්ව පවතින බවද මෝල් හිමියෝ කියති.


