(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
ගංවතුර නිසා කඩා දැමීමට තිරණය කර පසුව අවලංගු කළ හල්පාතොට පැරණි පාලම බ්‍රිතාන්‍ය යුගයේ ඉදි කළ ඓතිහාසික වටිනාකමක් ඇති පාලමක් බව ප්‍රදේශවාසීහු කියති. බද්දේගම නගරයට මීටර් 600ක් පමණ දුරින් මෙම පාලම පිහිටා තිබේ.
පංච මහා වාදයන් අතුරෙන් ලොව සුපතල බද්දේගම වාදය පැවැතියේ මෙම පාලම අසල ඩේවිඩ් මුදලාලිට අයත් පඩමක බව ද පැරැන්නෝ කියති. මේ ගැන විවිධ මත තිබේ.
පාලම අවහිර වී ඇති හෙයින් ජලය කඩිනමින් පිට කිරීම සඳහා මෙම පාලම කඩා දැමිය යුතු බවට මතයක් ආ අතර එය දැඩි විවාදාසම්පන්න විය. ඇතැමෙක් ඊට පක්ෂ වෙද්දී තවත් වැඩි දෙනෙක් මෙම පාලම කඩා දමනවාට විරුද්ධ වූහ. කෙසේ වෙතත් පාලම කඩා දැමීමේ තීරණය ඉවත් කර ගැනිණි.
එම තීරණය දැන ගත් මොහොතේ සිට බොහෝ දෙනෙක් එය නැරඹීමට පැමිණියහ. මෙය අවදානම් කලාපයක් යැයි ගසා ඇති බෝඩ් ලෑලි දෙස බලමින් පාලම නැරඹීමට විශාල පිරිසක් ඊයේ (29) දිනයෙත් ආහ. පාලමේ ගෑවි නොගෑවී ගලා බහින ජල ධාරාව දෙස බලමින් අත දරුවන් පවා පාලම මත හිඳුවා සිටිනු දක්නට ලැබිණි.
ගණේගම උතුර සහ හල්පාතොට ගම් යා කරමින් මෙම පාලම ඉදි කර ඇති මෙම පාලම මතින් 2013 මහ ගංවතුරේදීවත් ජලය නොගිය බව ප්‍රදේශවාසීහු කියති.
මෙම පාලම විවෘත කර ඇත්තේ 1929 අප්‍රේල් 15 වැනි දා ය. එයකට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතාය. ‘සිලෝන් පබ්ලික් වර්ක්ස් ඩිපාර්ට්මන්ට්‘ ලංකා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් එම පාලම සාදනු ලැබ තිබේ. එවකට එහි ඉංජිනේරු ලෙස කටයුතු කර ඇත්තේ ජේම්ස් ග්‍රෝ මහතාය. එච් බි ලීස් එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.
1927 ලංකා ආණ්ඩුකාර ධුරයට පත් වූ ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් ඉදිකරන ලද බද්දේගම හල්පාතොට පාලම විවෘත කරනු ලැබුවේ 1929 දී ය. ඒ අනුව මෙම පාලමට මේ වන විට වයස අවුරුදු 88කි. ආණ්ඩුකාර හර්බට් ස්ටැන්ලිට ආසියාවේ භූ දේශපාලනය පිළිබඳ දැනුම අඩු බව කියමින් දැඩි විවේචන එල්ල වූ අතර ඒ නිසාම 1931 ලංකා ආණ්ඩුකාර ධුරයට සමු දීමට ඔහුට සිදු විය. ඔහුගේ සිව් අවුරුදු පාලන කාලයේ දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා සභාපති වරයා හැටියට වරසක කාලයක් ද ඔහු කටයුතු කළේය.




