හල්දුම්මුල්ල බස් අනතුරින් දෙකක් මරුට 20 රෝහලට


(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල සිට මරංගහවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රඛයක් හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් දෙදෙනකු මියගොස් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අනතුරට පත් බසයේ රියැදුරා වූ කීර්ති බණ්ඩාර පද්මසිරි සහ බණ්ඩාර පොලිසියේ කොස්තාපල් බණ්ඩාර (42826) නමැත්තෙකි.

තුවාල කරුවන් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර ඇති  අතර බරපතල තත්ත්වයේ පසුවූ දස දෙනකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

හපුතලේ බෙරගල බෑවුම් සහිත මාර්ගයේ ගමන් ගත් බස් රථය තිරංග ක්‍රියා විරහිත වී දකුණු පස ගල් ඇන්දට හරවා නතර කර ගැනීමට එහි රියදුරා ක්‍රියකර ඇති බව මූලික පරික්ෂණවලින් හෙළිවී ඇතැයි හපුතලේ පොලිසිය කියයි.

ගල් ඇන්දේ වැදීමෙන් බස් රථයට දැඩි හානි වී ඇත. වම් පසට ගියේ නම් අඩි දහස් ගණනක් ප්‍රපාතයට පෙරළිය හැකි ව තිබූ බව ද එහි නැරඹීමට පැමිණි පිරිස් අප සමග පැවැසූහ.