හරක් ප්‍රශ්නයක් බේරන්න ගිය විවාහකයා මරුට


(සනත් ගමගේ)

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ආරවුල විසැඳීමට මැදිහත් වූ පුද්ගලයකුට තියුණු ආයුධ පහරක් වැදීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට වරාය පොලීසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ ඥාතියකුට අයත් ගවයින් වෙනත් නිවසක ගෙවත්තකට ඇතුවී වගාවන්ට හානි සිදුකළා යැයි පවසමින් ගව හිමියා හා ගෙවතු වගාකරු අතර ආරවුලක් බේරීම සඳහා ගවහිමියාගේ ඥාතියකුද සම්බන්ද වි ඇති අතර එම පුද්ගලයාට තියුණු ආයුධ පහරක් එල්ලවීමෙන් පරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.

මියගිය පුද්ගලයාගේ සිරුර පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර සැකකරුවන් සම්බන්දයෙන් හම්බන්තොට වරාය පොලීසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරති.