හමුදාවේ ආසාදිතයන් දෙදෙනකු ඇසුරු කළ 30 ක් නිරෝධායනයට


 

 

(කේ බුද්ධික කුමාරසිරි)

කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකු කොවිඞ් 19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසු එම නිළධාරීන් දෙදෙනා නිවාඩු ලබා පැමිණ සිටියදී ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු අද (14) නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ අතර එක් ආසාදිත යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ආසාදිතයාට ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරයා සහ සහයකයා ද එම ආසාදිතයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බව ද එම කාර්යාලය පවසයි.

යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් යුද හමුදාව මගින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

ආසාදිත යුද හමුදා නිළධාරීන් දෙදෙනා ආශ්‍රය කළ තවත් පිරිස් සිටිනවාදැයි සොයා ඔවුන් නිරෝධායනට ලක් කිරීමට පියවර ගන්නා බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා පැවසීය.