( +++ සුසිත ප්‍රනාන්දු-ඩේලිමිරර්)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිශ්චයකාරවරුන් කිහිප දෙනකු අතර හුවමාරු වී ඇතැයි කියන දුරකතන සංවාද පිළිබඳව කඩිනම් විමර්ශනයක් කරන ලෙස මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආන්දෝලනයට තුඩු දී ඇති එම දුරකතන සංවාද සම්බන්ධයෙන් මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ 8 වැනිදා පැවැති විශේෂ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති අතර එම රැස්වීමෙන් අනතුරුව ඉහත ඉල්ලීම කරමින් සංගමය අගවිනිසුරුවරයාට ලිපියක්ද යවා තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට යවා ඇති එම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට ද යවා ඇත.
මහාධිකරණ විනිශ්චයකරුවරුන්ගේ සංගමයේ සභාපති සම්පත් බී. අබේකෝන් සහ ලේකම් ඒ.කේ.එම්. පටබැඳිගේ යන මහත්වරුන්ගේ අත්සන් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙම සිද්ධීන් බැරෑරුම් තර්ජනයක් වන බවය.
මෙම දෝෂදර්ශනයට ලක්ව ඇති දුරකතන සංවාද රටපුරා පැතිර යාමෙන් අධිකරණයේ ප්‍රතිරූපයට කැළලක් විය හැකි හෙයින් ඉතා ඉක්මනින් විමර්ෂණයක් කර පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අගවිනිසුරුවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

