සෞදි අරාබියේ ජෙඩා කලාපයේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් ජෙඩාහි පිහිටි කන්දරා පාලමයට පෙරේදා සන්ධ්‍යා භාගයේ උද්ඝෝෂණයක යෙදුණු බව ගල්ෆ් නිවුස් මලයාලම් වෙබ් අඩවිය සඳහන් කරයි.
දෙසිය පනහකට අධික අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක නියැලෙමින් ප‍්‍රකාශ කර සිටියේ විවිධ දුක් කරදර මධ්‍යයේ කිසිදු පිළිසරණක් නොමැතිව අවතැන්ව සිටින තමන් ශ්‍රී ලංකාවට යවන ලෙසයි. මහා මාර්ගය අවහිර කරමින් කරන මෙම උද්ඝෝෂණය සඳහා ඉන්දියානු අවතැන් වූ පිරිස් ද පැමිණ ශ්‍රී ලාංකිකයින් හට සහයෝගය දැක්වූ බවද ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය සඳහන් කරයි.
සෞදි ආරක්‍ෂක අංශ පැමිණ තත්ත්වය පාලනය කරමින් ප‍්‍රකාශ කර සිටියේ මාර්ග අවහිර නොකරන ලෙසත් වහාම සෞදි ආගමන විගමන කඳවුර වෙත ගොස් තම දුක්ගැනවිල්ල ප‍්‍රකාශ කරන ලෙසයි.
ඒ අනුව ආගමන බලධාරීන් හමුවූ ශ්‍රී ලාංකිකයන් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී සෞදි රජය විසින් යම්කිසි සහනදායි වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බැවින් එම කාලය එළඹෙන තෙක් තම නවාතැන්පොළවල් වෙත ගොස් සාමකාමීව කල්ගෙවන ලෙසයි.
අවතැන් වූ කිසිදු ශ්‍රී ලාංකිකයකුට සෞදි ආරක්‍ෂක අංශ විසින් කිසිදු හිරිහැරයක් හෝ පීඩාවක් නොකරන ලද අතර අවතැන් වූවන් වෙත සානුකම්පිතව කටයුතු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවද මේ පිළිබඳව දසත පුවත් විසින් ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ බලධාරියෙකුගෙන් කරනු ලද විමසීමකදී ප‍්‍රකාශ කර සිටියේ සිද්ධිය පිළිබඳව ජෙඩා කොන්සියුලර් කාර්යාලය දැනුවත් වී ඇති බවත් ඒ පිළිබඳව සෞදි බලධාරීන් හමුවේ කරන ලද සාකච්ඡුාවකදී නිලනොවන අයුරින් ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත ජෙඩා කලාපයේ අවතැන් වූ විදේශිකයන්හට සහනයක් සැලසීම සඳහා සෞදි රජයේ අවධානය යොමුවී ඇති බවත් සතියකට කිහිප දෙනා බැගින් ආගමන විගමන රැුඳවුම් කඳවුර වෙත භාර ගැනීමට කටයුතු කරන බවත්ය.
ජෙඩා කොන්සියුලර් කාර්යාලීය ආරංචි මාර්ග අනුව ජෙඩා කලාපයේ අවතැන්ව කාර්යාලයේ ලියාපදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවන බවද දැනගන්නට ඇත.