සෞදි ගිය ලක් කතට වසර 10කට පසු වැටුප්


(විනීතා එම් ගමගේ)

ගෘහ සේවිකාවක ලෙස සෞදියට ගොස් වසර 10ක වැටුප් නොලැබූ ලාංකික කාන්තාවකට හිඟ වැටුප් ලෙස සෞදි රියාල් 50,000ක් (රු. 2,041,500.00) ක් ලබා දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සමත්ව ඇත.

අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම කාන්තාවට හිඟවැටුප් ලබා දීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

2007 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සෞදි අරාබියට ගිය පේරාදෙණිය, දෙල්තොට, බෝපිටිය ප‍්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන රාමයියා පරමේෂ්වරී (54) මහත්මියට මෙලෙස හිඟ වැටුප් ලැබී තිබේ.

රැකියාවට ගියදා සිට සේවය කළ නිවසෙන් ඇයට කිසිඳු වැටුපක් ගෙවා නොමැති අතර, සිය ඥාතීන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමටද ඇයගේ හාම්පුතුන් ඉඩදී නැත. ඒ පිළිබඳව තොරතුරු දැනගත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇගේ හිග වැටුප් ලබාදී කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන ලෙස තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි.

එහිදී තානාපති කාර්යාලයේ නිළධාරීන් පරමේෂ්වරී මහත්මියගේ හාම්පුතාට ඇයගේ හිඟ වැටුප් ගෙවන ලෙස උපදෙස් දී ඇති අතර ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව එරට පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන් අදාළ හාම්පුතා කැඳවා මෙම කාන්තාවට ගෙවිය යුතු සියළු හිඟ වැටුප් ගෙවන ලෙස නියම කර තිබේ.
 
සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා හා භාෂා පරිවර්තක ජාසීර් මහතාගේ දැඩි උත්සහයත් සෞදි පොලිසියේ මැදිහත්වීමත් මත මෙම හිඟ වැටුප් ලැබී ඇත.

මේ වන විට ඇය සෞදියේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසය භාරයේ සිටියි. ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතුකෝරළ මහත්මිය පැවසුවේ පසුගිය වසර 2ක කාලය තුළදී විදෙස් රැකියාවට ගොස් වසර ගණනක් කිසිඳු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවන් විශාල පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඔවුන්ට හිමි සියළු හිඟ වැටුප් ලබාදීමට හැකිවූ බවයි.

තමන් ඒ පිළිබඳව සතුටු වන බවත්, මෙසේ ඔවුන්ට උපකාර කිරීමට හැකිවූයේ කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම නිසා බවත් අමාත්‍යතුමිය ප්‍රකාශ කළාය. විදෙස් රැකියා සඳහා යොමුවන සියළු දෙනා කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම මගින් ඔවුන්ට රාජ්‍ය තාන්ති‍්‍රක වගකීමක් හිමිවන බවත් වැඩිදුරටත් අමාත්‍යතුමිය කීවාය. මෙම ගැටළුව සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ තානාපති කාර්යාල නිලධාරීන්ටද අමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.