සෝමාවතිය පුද බිමට යන මාර්ගය තවමත් වහලා


(ක.ග.කරුණාරත්න)
 
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට ඉදිරියට ස්ථාන ගණනාවක් මේ වනවිටත්  ජලයෙන් යටවී පැවැතීම නිසා  එහි රථවාහන ධාවනය තවදුරටත් අත්හිටුවා තිබෙන බව පුලස්තිපුර පොලීසිය කියයි.
 
 මහවැලි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් එහි ජලමට්ටම අද(25) උදේ වන විට අඩි 04 ක් පමණ පැවැති බවද පොලීසිය සඳහන් කළේය.
 
සෝමාතිය පුදබිමද තවදුරටත් ජලයෙන් යටවී පවතින අතර චෛත්‍යය  රාජයාණන්ගේ මළුවේ පමණක් ගංවතුර මේ වනවිට බැස ගොස් ඇතැයි එහි වැඩ වසන හිමිවරු පැවැසූහ.  එමනිසා මළුව පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන බවද උන්වහන්සේලා කීහ.
 
 පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුන්ගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා කොටස රථවාහන ගමනා ගමනයට විවෘත කිරීමටහැකියාව ලැබෙනුයේ ගංවතුර තත්වය මුළුමනින්ම පහවයාමෙන් පසුව බව පුලස්තිපුර පොලීසිය වැඩිදුරත්  සඳහන් කරයි.