සේවය හැරයාමේ නියෝග ලැබූ පොලිස් නිලධාරීන්ට යළි සේවයට එක්වීමට අවස්ථාවක්


(ඩයනා උදයංගනී)

‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර විවිධ හේතූන් මත සේවය අතහැරයාමේ නියෝග ලබා ඇති පළපුරුදු නිලධාරීන් යළිත් සේවයට එක්කරගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක,  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ,  උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
එම දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත් එම පවතින පුරප්පාඩු සඳහා අලුතින් බඳවාගැනීම් අලුතින් පිරිස් බඳවාගෙන පුහුණු කර සේවයේ යෙදවීමට සැලකිය යුතු කාලයක් සහ වියදමක් දැරිය යුතු බැවින් මෙලෙස පුහුණුව ලබා සිටින පළපුරුදු නිලධාරීන් යළි බඳවා ගැනීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 ශ්‍රී ලංකා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර සේවය අත්හැරයාමේ නියෝගය ලැබුණු 5, 987 දෙනෙක් සිටින බව කී ඇමතිවරයා ඔවුන් මූල්‍ය අපරාධ හෝ වෙනත් බරපතල වැරදි චෝදනා නොමැති සේවයට වාර්තා නොකිරීම වැනි කුඩා හේතු මත සේවය අත්හැර යාමේ නියෝග ලැබුණු අය බව ද ප්‍රකාශ කළේය.
 
මොවුන් නැවත සේවයට බඳවා ගැනීම සඳහා අමාත්‍යාංශවල උසස් නිලධාරීන්ගෙන් සමන්විත අභියාචනා කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සේවය අතැරයාමේ නියෝග ලබා ඇති වයස අවුරුදු 50ට අඩු අවම වශයෙන් වසරක කාලයක් උතුරු නැගෙනහිර සේවය කළ අයට මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙන බව ද කීවේය.
 
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.