සේරුවිල පුදබිම නව සැලසුම් අනුව දියුණු කරන බව අගමැති කියයි


(අංජුල මහික වීරරත්න සේරුවාවිල සිට)

සේරුවිල පුදබිමේ පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් අනුව දියුණු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේරුවාවිලදී අද (31) පැවැසීය.

සේරුවාවිල පුද බිම දියුණු කිරීම සිංහල බෞද්ධයන්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් ජනතාවට සෙත සැලසීමක් බව කී අග්‍රාමාත්‍යවරයා සේරුවාවිල පුදබිමේ  දියුණුව යනු අවට ගම් රාශීයක දියුණුවක් බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කිරීම සහ නව විහාරාංග කිහිපයක් විවෘත කිරීම මෙන්ම පුජා භූමි සංවර්ධනය පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මාර්ගය විවෘත කිරීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා යුද සමයේ විනාශ වූ සංඝාවාසය සහ ධාතු මන්දිරය නිරීක්ෂණය කළ අතර ඉතා ඉක්මණින් ඒවා සංරක්ෂණය කරන බව දැනුම් දුන්නේය.

නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවාවිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී සේරුවාවිල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් මෙහිදී පැවැසුයේ යුද සමයේ අනාථ වූ ජනතාව පවා මෙම ගොඩනැගිලිවල නවාතැන්ගෙන සිටි බවයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා සේරුවාවිල සංඝකිත්ති සංඝාවාසය සහ මන්දිරය විවෘත කිරීමටද එක්විය.පුරාවිද්‍යා කැණීම් වලදී සොයාගත් නයිපෙන නවයකින් ආවරණය කරගෙන සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කිරීමටද අගමැතිවරයා අතින් සිදු කෙරිණි.

ඡායාරූප - ඉෂාන් සංජීව