සේනාධිරාජා අවසන් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ නම් ඉල්ලයි


(එෆ්.අස්ලම්)

අවසන් යුද සමයේදී සුදුකොඩි ඔසවා ආරක්ෂක හමුදාවට බාර වූ කොටි සාමාජිකයින් ඇතුළු පිරිස් මියගොස් ඇති බවට යුද හමුදාපතිවරයා සිදුකළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් යැයි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
 
ඔවුන් මිය ගියේ නම් මිය ගිය දිනය ස්ථානය හේතුව සහ මියගිය අයගේ නම් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද සේනාධිරාජා මහතා සදහන් කළේය.
 
 අවසන් යුද සමයේදී අතුරුදහන් වූ බව කියන පුද්ගලයින් මියගොස් ඇති බවට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සේනාධිරාජා මහතා මේ බව අවධාරණය කර තිබිණි.
 
 එම නිවේදනයේ මෙසේද වේ.
 

යුද සමයේදී අතුරුදහන් වූවන් ජිවතුන් අතර නොමැති බවට හා ඔවුන් මියගොස් ඇති බවට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ප්‍රකාශයක් ඉරිදා සතිඅන්ත පුවත්පතක දක්නට ලැබුනා. අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය යුද සමයේදී විශේෂයෙන් අවසන් යුද සමයේදී හමුදාවට බාරවූවන් කොහෙද යන්නයි.
 
 2009 වසරේ අප්‍රේල් 10 වනදින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ආරක්ෂක හමුදාවට බාර වන්නේ නම් ඔවුනව සුරක්ෂා කිරීමට රජය එකගත්වය පලකර තිබුණා. පිළිබද රජය සමගින් සාකච්ඡා සිදුවුණා.ඒ සාකච්ඡාව සදහා කොටි සංවිධානය වෙනුවෙන් මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමන්,කොටි සංවිධානයේ නඩේෂන්,එවක ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඇතුළු පිරිසක් ශ්‍රීලංකා රජය පාර්ශවයේ බැසිල් රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කළා.
 
 හමුදාවට බාර වීමට කැමති කොටි සාමාජිකයින් සිටියි නම් සුදුකොඩියක් ඔසවාගෙන බාර වන්නේ නම් ඔවුනව ආරක්ෂිත කරන බවට ශ්‍රිලංකා රජය පාර්ශවයෙන් අවධාරණය කරනු ලැබුවා.
 
 නමුත් අවසන් යුද සමයේදී කොටි සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ආරක්ෂක හමුදාව වෙත සුදුකොඩි ඔසවා බාර වුනා.තවත් කොටි සාමාජිකයින් ඔවුනගේ ඥාතීන් විසින් හමුදාවට බාරකරනු ලැබුවා.ඊට සාක්කි තිබෙනවා.එලෙස ආරක්ෂක හමුදාවට බාරවූවන් කිසිවෙක් අදටත් නැහැ.ඔවුන් සොයාගැනීමද අද ප්‍රධානම  ප්‍රශ්නයක් වෙලා. මේ ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ.යුද හමුදාපතිවරයාද වගකීම් සහිතව උත්තරයක් දෙන්නෙ නැහැ.
 
මෙලෙස හමුදාවට බාර වූවන් අතරින්.එක් කණ්ඩායමක් සුදුකොඩි ඔසවා ආරක්ෂක හමුදාවට බාරවූවන්.දෙවැන්න හමුදාව විසින් ආරක්ෂිත යැයි ප්‍රකාශයට පත්කරන ලද ප්‍රදේශ වෙත කැදවා ඒ ස්ථාන වෙත පැමිණි පසු  යුද්ධයේදී භාවිතය තහනම් කළ අවි වලින් ප්‍රහාර එල්ල කිරීම්වලින් අතුරුදහන් වූවන්.
 
ඉන්දීය මහ මැතිවරණ සමයේදී සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන කණ්ඩායමක් නව දිල්ලි නුවරට ගොස් ශ්‍රිලංකාවේ යුද්ධය නතර කිරිමට උත්සහා දරනු ලැබුවා.නේරු මණ්ඩපයේදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 60ක් ඉදිරියේ අප විසින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.ඉහත කි කාරණාවන් අවධාරණය කළා.ශ්‍රිලංකා පාර්ලිමේන්තුවේද ඒ පිළිබද බොහෝ අදහස් පලකරනු ලැබුවා.
 
 2011 වසරේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගින් ජාතික ගැටළුව පිළිබද සාකච්ඡා කිරීමේදී අතුරුදහන් වූවන් සහ ආරක්ෂක හමුදාවට බාරවූවන්  පිළිබදව විමසූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔවුන් පිළීබද වව්නියාව කදවුරෙන් දැනගත හැකි බවත් ඔවුන් හා සාකච්ඡා කර බලන ලෙසත් අවධාරණය කරනු ලැබුවා.ඒ ගැන විමසා බලන්න දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම කදවුරට යැව්වා.එහෙත් ඒ කදවුරට ඇතුළු කර නොගෙන අප නියෝජිතයින් දෙපළ හරවා යවනු ලැබුවා.
 
එමෙන්ම 2019 මාර්තු මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය විසින් ශ්‍රිලංකාව පිළීබද ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව තුළ ශ්‍රිලංකාවේ යුද අපරාධ,මානව හිමිකම් කඩකිරිම්,අතුරුදහන් කිරිම් සහ වදහිංසාවන්ට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අවධාරණය කරනු ලැබුවා.මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ප්‍රකාරව ශ්‍රිලංකාවේ යුද හමුදාපති මීට පිළිතුරු බැදිය යුතු බවද අවධාරණය කර තිබෙනවා.
 
එමෙන්ම අතුරුදහන් වූවන් සහ ආරක්ෂක හමුදාවට බාර වූවන් සම්බන්ධයෙන් පිළීතුරු බැදීම චෝදනා එල්ල වන ශවේන්ද්‍ර සිල්වා විසින් සිදුකිරීමද අනුමත කරන්න බැහැ.කොහොම,කොතනද,කොයි කාලයේද කොපමණ පිරිසක්ද කියන එක රජය ප්‍රකාශයට පත්කළ යුතුයි.

මෙනිසා අවසන්  යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූවන්,අත්අඩංගුවට පත්වූවන් මියගොස් ඇති බවට යුද හමුදාපතිවරයා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය ශ්‍රිලංකා රජයේ වගකීම් විරහිත ප්‍රකාශය ශ්‍රිලංකා රජය වගවීමේ ප්‍රතිඤ්ඥාව වෙනුවට වගකීම් විරහිතව  සිදුකළ ප්‍රකාශයක් යැයි හුවා දැක්විය යුතු බවද සේනාධිරාජා මහතා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර තිබේ.