සෙල්ලම් පිස්තෝල රුසියන් යුවළගේ ගමන නවතයි


(ටී.කේ.ජී.කපිල)

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල වලට සමාන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් සොයා ගන්නා ලදි.

33 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා , ඔහුගේ 26 හැවිරිදි රුසියානු ජාතික බිරිඳ සහ 09 හැවිරිදි පුතා රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යාම අද දපැමිණ තිබේ .

මොවුහු කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි වී සිටිමින් රැසියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක නිරත වී සිටිති .

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ මෙම පිස්තෝල ඇති බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළ පරිලෝකන යන්ත්‍ර ( Scan ) පරීක්ෂාවේ දී අනාවරණය වී තිබේ .

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම රුසියානු ජාතිකයන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් විමසීමකදී මෙම පිස්තෝලවල උණ්ඩ නිකුත් කිරීමට කොකෙකු ( Trigger ) නොමැති බවත් එහෙත් උණ්ඩ ගමන් කරන බටය යකඩ වලින් නිර්මාණය කර තිබීම සැක කටයුතු බවත් ප්‍රකාශ කර සිටී .

එනිසා මෙම පිස්තෝල  කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සදහා ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසිය තීරණය කර ඇති අතර , එහිදී මෙම පිස්තෝල සෙල්ලම් ඒවා ද , නැති ද යන තීරණය මත මෙම රුසියානු ජාතික යුවළ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය .

මේ වනවිට මෙම රුසියානු ජාතික යුවළ වෙනුවෙන් මේ වනවිට නීතීඥවරයකු ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ සිටී .