සෙල්ලමක හැටි


මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයේ පීඩාව මකා ගැනීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ලක්නව් නගරයේ වාසය කරන තරුණයෝ පිරිසක් අන්තරායදායක ක්‍රීඩාවක නියැළෙති.

නගර සීමාවේ ගොම්ටි ගංගාව හරහා ඉදිකර ඇති දුම්රිය පාලමක් වෙත යන ඔවුහු දුම්රිය පැමිණෙන තෙක් බලා සිටිති.

දුම්රිය තමන්ගේ හුස්මක දුරටම පැමිණෙන තෙක් සිටින ඔවුහු එයට අසුනොවීමට පාලම පහළින් ගලා යන ගංගාවට පනිති.නැවත ගොඩට පැමිණෙන ඔවුහු මෙම කී්‍රඩාවේම යෙදෙති.

සියලූදෙනාගේ උත්සාහය දුම්රිය ඉතා ආසන්නයට පැමිණි පසු පාලමෙන් පනින පුද්ගලයා වීමයි.

දැරිය නොහැකි උණුසුම නිසා තමන් මෙවන් කි්‍රයාකාරකමක නියැළෙන බවද මේ දක්වා කිසිවෙකුවත් අනතුරට පත්ව නැති බවද තරුණයෝ කියති.

පොලිස් නිළධාරීන් තමන් අල්ලා ගැනීමට මාන බලමින් සිටියත් ඔවුන් කිසිසේතම පාලමෙන් පැනීමට සූදානම් නැති නිසා තමන්ට ඒ ගැන බියක් නැතැයිද දහවල් කාලයේ අධික උණුසුම නිසා රේල් පීලිද දිය වන තරමට රත් වන බැවින් කිසිවෙකුවත් පාලම පැත්ත පලාතේ නොඑන බවද ඔවුහු පවසති.

සෙල්ලම ලෙල්ලම වීමට වැඩි දවසක් ගත නොවනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.