සෙරෙප්පුවෙන් ලක්ෂ එකොළහක රන් මතුවේ


රුපියල්  එකොළොස් ලක්ෂ  තිස් පන් දහසක් වටිනා රන් කැබලි හතරක්  සෙරෙප්පු කුට්ටම් වල  අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසීය.

සැකකරුවෝ වයස අවුරුදු 45 සහ 42 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 227 කි.  මෙම රන්කැබලි ගානකට කපා සෙරෙප්පු වල අලවා තිබු බව රේගුව කියයි.

මොවුහු  අද  උදෑසන නමයයි තිහට පමණ එයාර් ඉන්ඩියා ගුවන් සේවයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.  ඉන්පසු මොවුන් දෙදෙනා ගුවන්යානයට ගොඩවීමට යත්ම අවසන් මුර කපොල්ලේදී  ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ  විසින් පරීක්ෂා කරද්දී සෙරෙප්පු වල අලවා තිබු රන් කැබලි සොයාගෙන ඇත.   පසුව  ආරක්ෂක අංශ විසින් රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිළධාරීහු සිදු කරති.