සුනිල් මිහිඳුකුල දිවි සැරිය නිම කරයි


(අකිල බද්දෙවිතාන)

පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සිළුමිණ සමකර්‍තෘ මෙන්ම සරසවිය සහ රසඳුන කර්‍තෘ ධූර දැරූ සුනිල් මිහිඳුකුල මහතා අද(30) අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 58 වැනි වියේ පසුවිය.

මිහිඳුකුල මහතා මූලික අධ්‍යාපනය ලබන්නේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙනි. 1979 දී ‘ලංකාදීප‘ පුවත්පතෙහි කර්තෘ වූ එල්මෝ ගුණරත්න මහතා සහ එහි උපකර්තෘ වූ රෝහණ වෙත්තසිංහ මහතාගේ උදව්වෙන් සුනිල් මිහිඳුකුල ‘ලංකාදීප‘ පුවත්පතට එක්විය. ඒ විශේෂාංග ලේඛකයකු වශයෙනි. එහිදී ඔහු සිනමාව, සාහිත්‍ය පිළිබඳ ලිපි, සම්මුඛ සාකච්ඡා කළේය. 1979 වසරේදී හේ ‘සත්දින‘ නම් දේශපාලනික ජාතික පුවත්පතට එක්විය. එහිදී ඔහු සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා හා ලිපි ලිවීම කළේය. මේ අතර සුනිල් මිහිඳුකුල මහතා ‘පියකරු‘ නම් සිනමා පුවත්පතට ද සම්බන්ධ විය. එහි සංස්කාරක වූ විමලේන්ද්‍ර වතුරේගම මහතා ඔහුට සිනමා විචාර ලියන ලෙසට ආරාධනා කර සිටියේය. එහිදී මිහිඳුකුල සිනමාපට ත්‍රිත්වයක් පිළිබඳව විචාරයක් කළේය. 1981 වසරේදී හේ ලංකාදීපයට සුගතපාල සෙනරත්යාපාගේ ‘ඉන්දුට මල්මිටක්‘ සිනමාපටය ගැන විචාරයක් කළ අතර එය සුනිල් මිහිඳුකුලගේ ප්‍රථම සිනමා විචාරය විය. එම වසරේදීම ඔහු ‘දෙසතිය‘ පුවත් සඟරාවට සම්බන්ධ විය. ඒ නියෝජ්‍ය සංස්කාරක වූ ගාමිණී විජේතුංගගේ සහායෙනි. එහි සංස්කාරක වූයේ ඩී. බී. වර්ණසිරිය. සිනමාව, සාහිත්‍ය, වේදිකාව පිළිබඳ මිහිඳුකුල ලිපි ලිවීය. පසුව ඔහු ‘දෙසතිය‘ කර්තෘ මණ්ඩලයෙහි සේවය කළේය. 

නවලිය, රසඳුන , දිනමිණ, සිළුමිණ ආදී පුවත්පත් රැසකට සම්බන්ධ වූ මිහිඳුකුල මහතා සරසවිය සිනමා පුවත්පතේ කර්තෘවරයා ද විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (1) සිදුකිරීමට නියමිතය. දේහය කොට්ටාව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.