සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට


(ඩයනා උදයංගනී)

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8ක කාලයක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර උදෑසන 9.15 සිට සවස 3.15 දක්වා කාලයේදී ඔවුන් අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැදී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කියයි.

රාජ්‍ය ආයතන 41 ක්  තිබෙන බත්තරමුල්ල ප‍්‍රදේශයේ දැනටත් පිටකොටුවට වැඩි රථ වාහන තදබදයක් පවතින බවත්  ඉදිරි වසර 3 තුළ එම ප‍්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතන 113 ක් ස්ථාපිත කෙරෙන බැවින් රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි.