සීසීටීවී කැමරා ගැලවූ හිමිනම ඇතුළු සිසුහු සිව්දෙනා රිමාන්ඩ්


(කවිතා සුබසිංහ)

කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද(28) නියම කළේය.

මෙසේ රිමාන්ඩ් ගතකිරීමට නියෝග ලැබූවේ, මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක, මඩවල ⁣ලේඛම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නැමති අය ය.

විශ්වවිද්‍යාල භූමිය තුළ සීසීටීවි කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16දෙනෙකු  කිරිබත්ගොඩ පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනෙකු ඊයේ(27)පොලිස් ඇප මත මුදා හැරතිබිණි.

පොදු දේපල පනත ය⁣ටතේ සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කිරිබත්ගොඩ පොලිසිය වෙත නියෝග කළේය.

නුවන් බෝගගේ,අස්තික දේවේන්ද්‍ර හා අරුණ මදුසංඛ ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා පොලිස් කොස්තාපල් 90071 රත්නායක යන නිලධාරීහු  පැමිණිල්ල මෙහෙය වුහ.