ෆේස්බුක් සිද්ධියක් නිසා සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයය සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළ විමර්ශන වල දී විදුහල්පතිට එරෙහිව සාක්කි දුන් සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනකුට විවිධ තර්ජන එල්ල වී ඇතැයි කියිමන් ලංකා ගුරු සංගමය ළමා රක්ෂණ අධිකාරියට ලිඛිතව පැමිණිලි කළේය.
මිය ගිය වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ සහෝදරියටත්, තවත් සිසු සිසුවියන් පිරිසකට පාසලට යෑමට නොහැකි තත්ත්වයක් ඇතැයි ද, ගුරුවරුන් පස් දෙනකුට එරෙහිව ද විවිධ ක්‍රියාකාරකම් සිදු වෙතියි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට යැවුණු ලිපියේ සඳහන්ය.
මාර්තු 19 වැනි දා ගුරුවරයකුගේ නිවසට ගල් ගසා ඇති බවත්, අප්‍රේල් 03 වැනි දා ගුරුවරුන් පස් දෙනකුගේ පඹයන් පාසල ඉදිරිපිට පිළිස්සූ බවත්, පසුගිය 21 වැනි දා මෙම ගුරුවරුනට එරෙහිව විවිධ ප්‍රකාශ පාසල තුළ ලියා තිබුණු බවත් ගුරු සංගමය කියයි.

