සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්


සිව් වසරක් පුරා කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සිදුවී යැයි කියන හොර මැර දූෂණ හා ලිංගික අල්ලස් ගැන ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා රහස් පොලීසියට සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පවරන ලෙස ද්වි පුද්ගල කමිටුවක් මගින් අධ්‍යාපන ලේකම්ට නිර්දේශ කරයි. මේ බොහෝ දූෂණවලට මුල හොරපාරෙන් සිසුන් පාසලට ඇතුළු කර ගැනීමේ සිද්ධි බව එම කමිටුව සඳහන් කරයි. සෘජුව මුදල් ගැනීමට අමතරව, ටිකට්පොත් විකිනීමට බාර දීම හා විවිධ සංගම් පිහිටුවාගෙන අරමුදල් පාසලට සම්බන්ධ නැති ගිනුම්වලට බැරකිරීම ද වාර්තා වේ. 2007 වසරේ සිට 2011 වසර දක්වා මෙම පාසල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාව ආරම්භ කළ පරීක්ෂණය අවසන් කර වාර්තාව අධ්‍යාපන ලේකම් ඇතුළු බලධාරීන් බාර දී තිබේ. පාසලට ළමයින් ඇතුලත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතය, අධ්‍යාපන අධ්‍යක්ෂ වරයකුගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛන වල යෙදීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, පාසලේ ගරුවරියන්ට වරින් වර ලිංගික බලපෑම් කිරීම,  වැරදි තොරතුරු ලබා දී අධ්‍යාපන අමාත්‍යංශ නොමග යැවීම, මූල්‍ය වංචා ආදී බරපතල විෂමාචාර ගණනාවක් විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) ගේ බලය පැවරීම මත විමර්ශන නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ වාචික සාක්ෂි හා ලේකණ 48ක ලිඛිත සාක්ෂි පදනම් කරගනිමින් මෙම විමර්ශනය සිදු කර තිබේ. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අවසාන ලැයිස්තුවේ හා පොරොත්තු ලේඛනයේ නම සඳහන් නොවන සිසුන් 28 දෙනෙකු  පාසලට ඇතුලක් කර තිබුණු බවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂගේ අත්සන හොරට යොදමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ හා නිල මුද්‍රා භාවිත කර මෙම වංචාව සිදු කර ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය. අමාත්‍යංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත්කිරීමේ කමිටුවල වසර ගණනාවක් තිස්සේ එකම උප ගුරුවරයෙක් කටයුතු කර ඇති අතර එම ගුරුවරයා විසින් ඔහුගේ නිවසේ ලිපිනය භාවිත කරමින් සිසුන් කිහිප දෙනෙකු අයතා අන්දමින් ඇතුලත් කරගෙන තිබේ. නීතීඥයකු බව කියන ඔහුගේ සහෝදරයා ද වංචනික ලේඛන සකස් කිරීමට හවුල් වී ඇත. ඇතුලත් කිරීමේ ලේඛණ ගත නොකර සිසුන්ට අධ්‍යාපනය දීම සඳහා ඇතැම් පන්තිවල නම් ලකුණු කිරීමේ ලේඛන දෙකක් බාවිත කර ඇති බවද බොහෝ පන්තිකාමර වල 40 සීමාව ඉක්මවා සිසුන් රඳවා ඇති බව ද, විමර්ශන කමිටු පාසට පැමිණෙන විට නාමලේකණ ගත නොකර පාසලේ රඳවා ගෙන සිටි සිසුන් විද්‍යාගාරයේ හා පරිගණක කාමරයේ රඳවා ඇති බවද විමර්ශනයේදී ප්‍රකාශ වී තිබේ. මෙම විද්‍යාලයේ විදුහල්පති සහ තවත් ගුරුවරු දෙදෙනෙකු පාසලේම උප ගුරුවරියන් කිහිප දෙනෙකුට සහ සිසුන්ගේ මව්වරුන් කිහිප දෙනෙකුට ලිංගික බලපෑම් සිදු කර ඇතැයි ද ඒ ගැන පොලීසියේ පැමිණිල කළ විට ඒවා ඉවත් කර ගන්නා ලෙසට පාසලේ අභ්‍යන්තර මෙන්ම භාහිර පුද්ගලයන් ලවා ද දැඩි බලපෑම් එල්ල කර ඇති බවත් පීඩනය ඉවසා ගත නොහැකිව ඇතැම් ගුරුවරියන් විදුහල හැර ගොස් ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. එසේම විදුහල්පතිවරයා විසින් බොරු තොරතුරු යවා අධ්‍යාපන අමාත්‍යංශය නොමග යැවූ බව ද සනාථ වී ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගනිමින් වසර මැද මාසවලදී සිසුන් පාසලට ඇතුලත් කරගෙන ඇති අතර පාසලේ නොයෙක් කමිටු ආරම්භ කර විවිධ වැඩසටහන් මගින් වරින් වර මුදල් එකතුර එම මුදල් නිසි ලෙස ලේකණ ගත කර නොමැති බව හෙලී වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශනයට  පාසලේ ගුරුවරු ඉදිරිපත් කිරීමට අසීමිත ලෙස කාලය ගත කරමින් විමර්ශන කටයුතු ප්‍රමාධ කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවත්, ප්‍රකාශ ලබා දීමට එන ගුරුවරුන් විමර්ශන නිලධාරීන් වෙත ඒමට පෙර විදුහල්පති නිල කාමරයට ගෙන්වා උපදෙස් දී එවා ඇති බවත්, ප්‍රකාශ ලබාදුන් ගුරුවරුන් නැවත විදුහල්පති නිල කාමරයට ගෙන්වා ඇති බවත්, ගුරුවරුන් දැඩි බියකින් හා චකිතයකින් සාක්ෂි ලබා දී ඇති බවත් විමර්ශන කමිටුවට නීරීක්ෂණය වී තිබේ. තමාට ලිංගික බලහත්කාරකමක් කළ බව කියමින් උපගුරුවරියක් විසින් කොල්ලුපිටිය පොලීසියේ කළ පැමිණිල්ල ඉවත් කරගන්නැයි බලකරමින් විදුහල්පති ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතීඥයකු එම ගුරුවරියට බලපෑම් කරන ආකාරය ද විමර්ශන කමිටුවට නීරීක්ෂණය වූ බව සඳහන්ය. සම්පූර්ණ විමර්ශනයෙක් පසුව පරීක්ෂණ කණ්ඩායම නිගමන 19ක් හා නිර්දේශ තුනක් ඉදිරිපත් කර ඇත. විදුහල්පති හා ඇතැම් ගුරුවරු සාපරාධී ක්‍රියා සිදු කර හා ඒවාට සහාය දක්වා ඇති බව ද, රජයේ නිලධාරීන්ගේ රාකාරීවලට බාධා සිදුකර ඔවුන් අවඥාවට ලක්කර ඇති බව ද, ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඇති බව ද, බොරු තොරතුරු ඉදිරිපත් කර අමාත්‍යංශය නොමග යවා ඇති බවද, අමාත්‍යංශ චක්‍රලේඛ හා ආයතන සංග්‍රහයේ විවිධ වගන්ති උල්ලංඝනය කර ඇති බව ද රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයෙන් හැසිරී ඇති බව ද, මූල්‍ය වංචා සිදු කර ඇති බව ද විමර්ශන කණ්ඩායම නිගමන ලෙස ඉදිරිපත් කර තිබේ. මේ අපචාර, වංචා හා දූෂණ ඉදිරි පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හා දූෂණ කොමිසමට පැවරීමට නිර්දේශ කර ඇති විමර්ශන කමිටුව අවසන් වශයෙන් නිර්දේශ කර ඇත්තේ වැරදිවලට සම්බන්ධ අයට දඩුවම් ලබා දෙන ලෙසයි.