සිව්වැනි රන්දෝලි පෙරහර හෙට


(චමිල් රූපසිංහ)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ සිව් වැනි  රන්ඳෝලි පෙරහර හෙට (24) ගමන් කරන අතර අවසන් රන්දෝලි පෙරහර ලබන (25) නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරැඹෙයි.

පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයා පාවඩ හා උඩුවියන් සහිතව මෙදින පෙරහැරේ ගමන් කිරීම විශේෂත්වයකි.

අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන  25 වන දා ශ්‍රී දළදා මාළිගාව අභියසින් රාත්‍රී 7 පසුවී විනාඩි 58 ට  උතුරු  දිශාභිමුඛව පෙරහර පිටත්ව  දළදා වීදිය(වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දෙ වීදිය(හීල් වීදිය), ඩි.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

ඉන් අනතුරුව පසුදින  (26) අලුයම 1 පසුවි විනාඩි 03 ට උතුරු දිශාමුඛව ශ්‍රි දන්තධාතුමන්දිරයෙහි පෙරහර සිවුදේවාලයන්හි පෙරහැරත් සමඟ පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිවුදේවාලයන්හි පෙරහැර ආපසු දේවාලවලට පැමිණ දේවපූඡා පැවැත්වීමෙන් පසුව  කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුඡා ඉටු කිරිම කරයි.

ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදි එම කැපු ඡල පහර මහත් ආශිර්වාදයක් බව ඡනයා අතර භක්තියෙන් ඇති විශ්වාසය නිසා එම ඡල පහරෙන් මිනිසුන් ස්නානය කරනු ලබයි.

ගැටඹේ තොයේ දියකැපීමෙන් අනතුරුව එහි රැස්ව සිටින අති විශාල ඡනතාව එහි සියලුම පැමිණි සිටින්නන් සදහා මුඵතැන් බත්,කිරිබත් ආදියෙන්ද සංග්‍රහ පවත්වයි.

සතර මහා දේවාලයන්හි දේවාභරන රැගත් හස්තියින් ආපසු නැවත ගණදෙවිකෝවිල දක්වා ගමන් ගන්නා අතර මග දෙපස සිටින ඡනයා දන්සැල් පවත්වමින්ද, තම තමන් භාර හාර වි ඇති දේවාලයන් වල දේවාභරණ රැගත් හස්තින් ගමන් කරන මග හස්තියන් ඉදිරිපසට පැමිණ පොල් ගසා තම තමන්ගේ භාර හාර පැතුම් ඉටු කර ගැනීම සදහා පොල් ගසා එම භාර හාර ඉටු කරනු ලබයි.

ගැටඹේ තොටේ දිය කැපීමෙන් පසු ඓතිහාසික ඇසළ මංගල්‍ය  කටයුතු නිමාවට පත්වේ.