සිරදඬුවම් නියමු වූ ලාංකිකයාට යළි එන්න අවසර


 තිළිණි ද සිල්වා 
 
නීත්‍යනුකූල ගුවන්ගමන් බලපත්‍ර සහ අදාළ ගමන් ලියකියවිලි නොමැතිව   ඉන්දියාවට පැමිණ සිටියදී එරට රාමේෂ්වරම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර 4 1 /2 සිර දඬුවමක් නියමව සිටිය ශ්‍රී ලාංකික සරණාගතයෙකුට එම දඬුවම තිබියදීම යළි දිවයිනට යෑමට ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය   අවසර දී ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11) වාර්තා කළේය.
 
මොහු ඉකුත් ජනවාරි මාසයේදී නීතිවිරෝධී අයුරින් රාමනාදපුරම් වෙත පැමිණ ඇතැයි කියැවේ.
 
සැකකාර ලාංකිකයාට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමේ චෝදනාවට වරදකරු කරමින් රාමේෂ්වරම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට සති කිහිපයකට පෙර අදාළ සිර දඬුවම නියම කර තිබිණි. එම දඩුවම තිබියදී එම ලාංකිකයා විසින් තමන්ට යළි දිවයිනට යෑමට අවසර දෙන මෙන් ඉල්ලා මදුරාසි මහාධිකරණය යටතේ හබයාස්කෝපූස් නඩුවක් පවරන ලදී.
 
එම ලාංකිකයා විසින් පවරන ලද හබයාස්කෝපූස් නඩුවිභාගය පෙරේදා (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුට යලි ශ්‍රී ලංකාවට යාමට එම මහාධිකරණ විනිසුරු මඩුල්ල අවසර දෙන ලදී.