(සුජිත් හේවාජුලිගේ)
පාසල් විවෘත කිරීමට පෙර සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රායෝගික තීරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන අවබෝධයක් හෝ අධ්‍යනයක් නොමැතිව එවැනි තීරණයකට යෑම සුදුසු නොවන බවද පාසල් ඉතා ඉක්මනින්ම විවෘත කිරීමට අදාළ අංශ මග පෙන්වීම් ලබා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
වයස 18 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් දරුවන්ට ඉබේම රැකවරණය සැලසෙන බව පැවසූ ජීවන්දර මහතා දරුවන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන් ළඟදීම පරීක්ෂණයක් අරඹන බවද පැවසුවේය.
සෞඛ්‍ය අංශවලින් අවශ්‍ය දත්ත ලබාගෙන ඒ පරීක්ෂණය කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර එන්නත්කරණය අවසන්වූ පසු ලබන ඔක්තෝබර් මාසයවන රටේ යහපත් තත්වයක් ඇතිවනු ඇතැයි විශ්වාස කළ හැකි බවත් සියලුම වයිරසවලට පිළිතුර එන්නත්කරණය බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය කොළඹ සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර අවසන් බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා අනෙකුත් ප්‍රදේශවල පැතිරීම ගැන අදහස් පළ කිරීමට දැනට පවතින දත්ත ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම රටකට අගෞරවයක් හෝ මදිපුංචිකමක් හෝ නොවන බවත් අද ලෝකය පුරා ප්‍රමුඛව පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවත් හෙතෙම කීවේය.
ලෝකයේ බහුතරයක් එන්නත්කරණයට ලක් කරන තුරු නව සැර කොරෝනා ප්‍රභේද බිහිවනු ඇතැයිද ජීවන්දර මහතා පැවැසීය.

