සියයට දහයක් කටුවට බයේ එන්නත මගහරී


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි මෙරට ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් එන්නත් කටුවලට ( සිරින්ජර) ඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම මානසික තත්වය එන්නත් කටු බිය (NEEDLE PHOBIA) ලෙස හැඳින්වෙන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ පිරිස් එන්නත් ලබාගැනීමේදී අධික වේදනාකාරී තත්වයක් ඇතිවේ යැයි අස්ථාන බියකින් පසුවන බවත් එන්නතක් ලබා ගැනීම කිසිසේත්ම වේදනාකාරී අත්දැකීමක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

එන්නතක් ලබා ගැනීමේදී ඇතිවන වේදනාව මදුරුවකු කනවා හා සමාන යැයිද දීපාල් පෙරේරා මහතා කිවේය.

එන්නත් කටුවලට බියවී එන්නත ලබා ගැනීම මගහරින පිරිස් අතර වයස 60 ට වැඩි කොරෝනා අධි අවදානම් අයද සිටින බව ඔහු පැවසුවේය.

මුළු ලෝකයේම එන්නත් කටුවලට බිය සියයට දහයක් පමණ සිටින බව වෛද්‍ය පර්යේෂණ වාර්තා විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්වලින් මරණයට පත්වීම වැළැක්වීමට ඇති එකම විසඳුම එන්නත්කරණය හෙයින් නොපමාව එන්නත ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පැවැසීය.