සිගරට් රථයෙන් ලක්ෂ 14ක් කොල්ලකෑ හතරක් අල්ලයි


(නිමල් අල්ගේවත්ත,රවී ලියනගේ සහ අමල් වික්‍රමරත්න)

සිගරට් වැන් රථයකින් රුපියල් ලක්ෂ 14ක් පමණ මංකොල්ල කා පලායමින් සිටි බව කියන තරුණයන් සිව් දෙනකු යක්කලමුල්ල  මාකුබුර ප්‍රදේශයේදී පැහැරගත් මුදල් සමග අද (12) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 14ක්,මරුටි වර්ගයේ මෝටර් රථයක්,   අත් බෝම්බයක්,කඩු දෙකක්,හොකි පිත්තක්,සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හෙල්මට් 06 සහ අත් ආවරණ 06ක් ද සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.

අද දහවල් මෙම තරුණ පිරිස  ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයකින්  වාහනයක් කුලියට ගෙන පසුව එම වාහනයේ අංක තහඩු වෙනස් කර මංකොල්ලය කිරීමට පැමිණ ඇත.

සිගරට් වැන් රථයේ සිටි ආයුධ සහිත ආරක්ෂකයා ගේ බෙල්ලට හොකි පිත්තක් තබා බියගන්වා මෙසේ මුදල් පැහැරගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
කෙසේ හෝ මුදල් මංකොල්ලයෙන් පසුව පැමිණි මෝටර් රථයෙන්ම පලායමින් සිටියදී ඔවුන් අතින් බෝගහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු අනතුරට  පත්වී ඇත.එහිදී ප්‍රදේශවාසීන් මෙම පිරිස ගැන හබරාදුව පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය වහා ක්‍රියාත්මක වීමෙන් මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.