(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ලෝක බැංකු ආධාර මත පරිසර හානියක් සිදු කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිංහරාජයේ පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ලෝක බැංකුවේ තිදෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (30) සහ ඊයේ (29) සිංහරාජය ආශ්‍රිත කුඩව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණු අතර ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් පසුගිය සඳුදා (27) ‘සිංහරාජ සංහාරය’ මැයෙන් මෙම විනාශය ගැන අනාවරණය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය නියෝජනය කරමින් පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ ද, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ සිනමා අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ස්කෑම්ප් ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් මුදල් වෙන් කර ඇතත් සිංහරාජයේ පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම සඳහා මූලික අවස්ථාවේ මුදල් වෙන් කර නොතිබුණු බවත් මෙම ව්‍යාපෘතිය ඊට පසුව එක්කරනු ලැබ ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් ලෝක බැංකු නියෝජිතයෝ කීහ.
මාර්ගය කපා ඇති ආකාරයත් කොන්ක්‍රීට් අතුරා ඇති ආකාරය සහ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවල ඇති තවත් ක්‍රියාකාරකම් කිහිපයක් පෙන්වූ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ඒ මගින් වැසි වනාන්තරයක් වන සිංහරාජයට දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි. එම අවස්ථාවේ ලෝක බැංකු නියෝජිතයන් පැවසුවේ මෙම මාර්ගය කපා ඇති ආකාරය තම නිර්ණායකවලට ද පටහැනි බවයි.
පාරිසරික හානිය අවම වන ආකාරයට ව්‍යාපෘති සිදුකිරීමට ලෝක බැංකුවේ පිළිගත් නිර්ණායක ඇති බව කී එම නියෝජිතයෝ සිංහරාජයේ මාර්ගය කපා කොන්ක්‍රීට් කිරීමේදී එම නිර්ණායක කඩ කර ඇති බව පෙනී යන්නේයැයි ද ප්‍රකාශ කළහ.මේ සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන පැමිණ සිටි පිරිසෙන් අදහස් ලබා ගත් නිරීක්ෂණ කණ්ඩායම තම වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.
මාර්ගය ඉදි කිරීමේ වැඩකටයුතු සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ රිසිට්පතේ පිටපතක් ඇතුළු මෙම ව්‍යාපෘතියට අදාළ ලියකියැවිලි සහිත ලිපි ගොනුවක් ද පැමිණ සිටි පිරිස ලෝක බැංකු නියෝජිතයන්ට ලබා දුන්හ.

