සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් රටට කිසිදු හානියක් වෙන්නේ නෑ


(නිමල කොඩිතුවක්කු)

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම මගින් රටට කිසිදු හානිකර බලපෑමක් සිදු නොවන බවත් ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා තරයේ හෙළා දකින බවත්  එජාපයේ ගම්පහ  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී  අද(29) පැවසීය.

රටේ පවතින සියලූම  නීති අණ පනත් වලට යටත්ව  එම  ගිවිසුම ක‍්‍රියාත්මක බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

        ‘‘සිංගප්පූරු නිදහස් වෙළඳ  ගිවිසුම මගින් සිංගප්පූරුවේ අපද්‍රව්‍ය  ලංකාවට ගෙනල්ලා දොම්පේ ප‍්‍රදේශයේ  පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක එම අපද්‍රව්‍ය කළමනාකරණය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට පසුගියදා ඒකාබද්ධ විපක්ෂය පැවසුවා.

මේක අමූලික බොරුවක් කියලා මම කියනවා. ඒකාබද්ධ විපක්ෂය දැන් ගල් පැලෙන බොරු  කියමින් සිටිනවා.

දොම්පේ ප‍්‍රදේශයේ කෑරගල කියන ස්ථානයේ ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමේ  උසස් විශ්ව විද්‍යාල ආයතනයක් ඉදිකිරීමට  මේ වනවිටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ නිසා මේ අය කියන බොරු චෝදනා අපි තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

මේ අය ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඒ කණ්ඩායම මේ ගෙනියන දෙකේ  පන්තියේ වැඩ පිළිවළ අපි හෙළා දකිනවා.

සිංගප්පූරුවේ කුණු අපද්‍රව්‍ය ගැටලුව පිලිබඳව  සිංගප්පූරුවේ ‘‘ද බිස්නස් ටයිම්ස්’’  පත‍්‍රයේ පැහැදිලිව තියෙනවා කියලා දැන් ඒකාබද්ධ විපක්ෂය කියනවා. එම පත‍්‍රයේ කොහේවත් නැහැ මෙම අපද්‍රව්‍ය ලංකාවට ගෙන එනවා කියලා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු  හැටියට අපි මෙයට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.  මේ වගේ සඟරා පුවත්පත් පෙන්වලා ජනතාව නොමඟ යවමින් ඔවුන්ගේ උවමනා ඉටුකරගැනීමට මේ අය අද උත්සාහ ගනිමින් සිටිනවා.

බොරු බිල්ලන් මැවීම අද ඒකාබද්ධ විපක්ෂයේ කාර්ය භාර්‍යය වෙලා තියෙනවා. මේ වගේ බොරු ප‍්‍රචාරවලට අද මාධ්‍යයෙනුත් විශාල ඉඩක් ලැබෙනවා. මේවායේ නිවැරදි කිරීමක් අද මාධ්‍යයේ දකින්න නැහැ.

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදිව  දැන ගැනීම ස්‍ඳහා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ලබන 05 වනදා සවස 6.00ට සිදුකරන විද්වත් සාකච්ඡාව සඳහා එක්වන ලෙසට  එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදින්ගේ  සංගමයේ සභාපතිවරයා ලෙස මම සියලුම මාධ්‍ය  ආයතනවලට ආරාධනා කර සිටිනවා.

වෙළඳ ගිවිසුමක් ගැහුව  පමණින්ම  ඕනෑම දෙයක් ගෙන එන්න පුළුවන්ද කියන ගැටලුව  අද බහුතරයකට තියෙනවා. වෙළඳ  ගිවිසුමක් ගැසූ පමණින්ම  ඕනෑම දෙයක් ගේන්න බැහැ කියලා මම  ඉතා වගකීමෙන්  කියනවා.

අපේ රටේ නීති අන පනත්, බලපත‍්‍ර තියෙනවා. බදු  අඩු කලා කියලා  ඕනෑම භාණ්ඩයක් ගේන්න බැහැ. මේ සියලු අන පනත් වලට යටත්ව  තමයි ඒ කටයුතු සිදුකරන්නේ.

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කමිටු දෙකක් තියෙනවා.  මේ ගිවිසුමේ යම් යම් වෙනස් කරන්න අවශ්‍ය නම් එම කමිටු මගින් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම ගිවිසුම අපේ සියලුම නිතී වලට යටත් වෙනවා. ඒ නිසා තවදුරටත් බොරු ප‍්‍රචාර යවන්න එපා කියලා අපි ඒකාබද්ධ විපක්ෂය ඇතුලු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී පැවසීය.