සිංගප්පුරුව ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් උදුරා ගනී


කොළඹදී පැවැති අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 48/47 ක තියුණු ජයක් ලබාගත් සිංගප්පුරුව ශූරතාව දිනා ගැනීමට අද (31) සමත්විය. කිසිවකුට සිතාගත නොහැකි තියුණු සටනක් පැවැති අවසන් තරගයේ ලකුණු 47/47 ක් ලෙස සටහන්ව තිබියදී සිංගප්පුරු පිලේ චෙන් හියුෆන් ලබාගත් ලකුණත් සමග පිට පිට දෙවතාවක් ආසියානු කිරුළ හිමිකර ගැනීමට තිබු අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. තරගයේ පළමු වටය 12/13 ක් ලෙස සිංගප්පුරුව ජයගත් දෙවැනි වටය ලකුණු 13/13 ක් ලෙස දෙපිලම සම විය. තෙවැනි වටය 11/10 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත් නමුත් සිවුවැනි වටය ජයග‍්‍රහණයේ තීරණය කාලයට ලබාදෙන වටයක් විය. සිවුවැනි වටයේ අවසානය ලකුණු 12/11 ක් ලෙස සිංගප්පුරුව ජය ගත්තේය. තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිලට ජය ගෙනදීමේ පුරෝගාමී ක‍්‍රීඩිකාව වු සම නායිකා තර්ජනී සිවලිංගම් මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 47 ම ඇය ලබාගත් නමුත් අවසන් මොහොතේ ඇය වෙතින් පන්දුව ගිලිහී යාමෙන් ශ්‍රී ලංකාවට පරාජය වැළද ගැනීමට සිදුවිය. ජයග‍්‍රාහී සිංගප්පුරු පිල වෙනුවෙන් යු මේ ලින්ග් ලකුණු 27 ක් ලබා ගත්තාය. චෙන් හියුෆන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 21 කි. සිංගප්පුරු මැද පෙළ ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂ පන්දු හුවමාරුව හමුවේ ශ්‍රී ලංකා මැද පෙළ ක‍්‍රීඩිකාවන් පීඩනයකට ලක් වු අතර අවසානයේ සිදු වුයේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ලෝලීන්ට අපරාජිතව සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් තරගයේ පරාජය දැකීමටයි. ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ මහත්මිය තරගය අවසානයේ පැවසුවේ සුළු අඩුපාඩුකම් නිසා තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය බවයි. තරගාවලියේදී යොවුන් ක‍්‍රීඩිකාවන් දස්කම් අතරට පැමිණීම ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩාවේ අනාගතයට හොඳ ලකුණක් වු බව ද විජේසිංහ මහත්මිය පැවසුවාය. 2001 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී මේ අයුරින්ම එක ලකුණකින් සිංගප්පුරුව හමුවේ පරාජයට පත්විය. එහිදී ලකුණු 54/53 ක් ලෙස සටහන් විය. කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු 8 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හොංකොං පිල පරදවා මැලේසියාව (ලකුණු 56/27) දිනා ගත්තේය. ඉන්දියාව, බෲනායි, මාලදිවයින, ජපානය, නේපාලය සහ පාකිස්තානය පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය ලැබීය. නේපාලය, බෘනායි සහ ජපානය තරගාවලියට අලූතින්ම එක්ව වු රටවල් වේ. නවවැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය 2014 වසරේදී සිංගප්පුරුවේ පැවැත්වීමට නියමිතය. අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ........ තර්ජනී සිවලිංගම්ගේ උත්සාහයට හරස් වු සිංගප්පුරු ක‍්‍රීඩිකාවක්.....