සාක්කිකරුවන්ට බලපෑම් කරන්න ඉඩ නොදෙන්නැයි සන්ධ්‍යා එක්නැලිගොඩ රජයෙන් ඉල්ලයි


(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසීය.

ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ අද (31) පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේ සත්‍ය දැනගැනීමේ අයිතිය තමන්ට මෙන්ම රටේ ජනතාවට ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදීම රජයේ වගකීම බවත් එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේ ද කීවාය.

‘2009  අගෝස්තු මාසයේදි ප‍්‍රගීත්ව පළවෙනි වතාවට පැහැරගෙන යනවා.  පැහැරගෙන ගිහින් ඊට පහුවෙනිදා උදේ ප‍්‍රගීත්ව  මුදා හැරියා.  2010 ජනවාරි 24 වැනිදා ප‍්‍රගීත්ව නැවත පැහැරගෙන ගිහින් අතුරුදන් කළා. 2015 වෙනකම් මේ දේවල් කළේ කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ප‍්‍රගීත්ට පෞද්ගලික  හතුරො හිටියේ නැහැ. 

ඒ වෙනකොට තිබුණ දේශපාලන තත්වය සහ රටේ තිබුණ හොරකම් දූෂණ ගැන සහ රාජපක්ෂලා ගැන ඔහු ලියාලා තිබුණා. මෙයට අමතරව ඔහු රසායනික අවි පිළිබඳ  ලිපියක් පළ කළා සහ  ඒ පිළිබඳ විවිධ කණ්ඩායම් දැනුවත් කළා. ප‍්‍රගිත් ඒ ලිපිය ලිව්වෙත් ඔහුට ලැබුණු දත්ත මතයි.

ඒ හැරෙන්න ප‍්‍රගීත් කාටවත් මඩ ගැහුවේ නැහැ. ප‍්‍රගීත් පළමු වථාවට පැහැර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට ඒක පාදක වෙන්න ඇති කියා මා විශ්වාස කරනවා.  පළමු වතාවේ ප‍්‍රගීත් මුදාහැරිය එම කණ්ඩායම 2010 ජනවාරි 24 වැනිදා ප‍්‍රගීත්ව පැහැරගෙන අතුරුදන් කළා කියලා විමර්ශන මගින් හෙළි වෙලා තියෙනවා.

දැනට මේ කණ්ඩාමට එරෙහිව හෝමාගම සහ  කොළඹ  ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. මටත් ප‍්‍රගීත්ටත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම යළි ආරම්භ කර තිබෙනවා.  මේ වනවිට තියෙන සාක්ෂි විනාශ කරලා  සාක්ෂිකරුවන් බිය ගන්වලා  ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා.

මෙම අපරාධය හා සම්බන්ධ දැනට හඳුනාගෙන සිටින  මෙම හමුදා  බුද්ධි අංශ නිලධාරින් නිදොස්  කොට නිදහස් කරන්නවත්,  මේ අපරාධය වසන් කරන්නවත්  එපා  කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ  අධිකරණ ක‍්‍රියාදාමයට ඇඟිලි  ගහන්න එපා කියන ඉල්ලිමත්  සත්‍ය සහ යුක්තිය ඉෂ්ඨ කරන්න කරන්න කියන ඉල්ලීමත් මම මේ රජයෙන්  ඉල්ලා සිටිනවා.

මොකද මේ අධිකරණ ක‍්‍රියාදාමය 2015 සිට  2019 කාළය වගේ ස්වාධීනව ක‍්‍රියාත්මක වුණොත් පමණයි  මට සහ දරුවන්ට යුක්තිය ඉෂ්ඨ වෙන්නේ.  මේ සිද්ධියේ සත්‍ය ජනතාවට  දැනගන්න නම් මේ  අධිකරණ ක‍්‍රියාදාමයට ඇඟිලි ගැසිම නැවැත්විය යුතු වෙනවා.

මේ නඩුවට අදාළ නැති විවිධ පුද්ගලයන් මේකට දැන් බලපෑම් කරමින් සිටිනවා.  මේක අපරාධයක් මේකට අනුබල දෙන  අයත් අපරාධකරුවන්මයි.  ඒ නිසා මම ඒ අයට කියන්න කැමතියි තමන්ගේ  දේශපාලන වුවමනාවන් සඳහා ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම පාවිච්චි කරන්න එපා කියලා.

ඒ අයට පාඨලී චම්පික රණවකත්   එක්ක දේශපාලන ප‍්‍රශ්නයක් තියෙනවා නම්  ඔහුත්  එක්ක ඒ දේවල් විසඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා.  ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම  සහ මේ නඩුත් එක්ක පාඨලීව සම්බන්ධ කරන්න එපා මොකද ප‍්‍රගීත්ව  පැහැරගැනීම මෙහෙය වූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වනවිට හෙළි නොවූ සත්‍යයත් ඒකයි.’