ස්විස් සිංහල ගෙදරක එළිවනතුරු පිරිතක්


ස්විට්සර්ලන්තයේදී ප්‍රථම වතාවට ගිහි නිවසක සර්වරාත්‍රි පිරිත් දේශනයක් පවත්වන ලද බව ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ පවසති.

ජිනීවා නුවර පදිංචි ගීතානි කුමාර ආකාශ් සහ බියන්සි රණසිංහ පවුලේ සංවිධායකත්වයෙන් ඔවුන් පදිංචි නිවසේදී පවත්වන ලද මෙම පිරිත් දේශනය සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් මෙන්ම යුරෝපා ජාතික හිත මිත්‍රාදීන් බොහෝ පිරිසක් සහභාගීවූ බවද උන්වහන්සේ පවසති.

සිරි-මානෙල් අහංගම යුවළත් ඔවුනගේ පවුල් වලට සම්බන්ධ සැමදෙනාත් මෙම පිංකම සංවිධානය කිරීම සඳහා වෙහෙස මහන්සි වූහ.

අලංකාර පිරිත් මණ්ඩපය බොහෝ දෙනෙකුගේ සිත් පහන් කළේය.

ශ්‍රී ලංකාවේදී මෙන් නොව යුරෝපාරටකදී මෙවන් පින්කමක් සිදුකිරීමේදී මුහුණදීමට සිදුවන අසල්වාසීන්ගේ කැමැත්ත ලබාගැනීම, රාත්‍රී කාලයේ අවට නිශ්ශබ්දතාව සුරැකීම, පිරිත් මණ්ඩපය ගොඩනැගීම සඳහා ඉඩකඩ මෙන්ම භික්ෂුන් වහන්සේ සඳහා නවාතැන් සැපයීම වැනි අපහසුතා හේතුවෙන් යුරෝපයේ සෑම රටකම වාගේ මැත කාලයේ සර්වරාත්‍රි පිරිත් දේශනා පවත්වා ඇත්තේ එම කටයුතු සඳහා සුදුසු පරිසරයක් සහ පහසුකම් සහිත විහාරස්ථානයන්හි පමණක් බවද මේ අයුරින් ගිහි නිවසක එවන් පින්කමක් පැවැත්වුණු මුල්ම අවස්ථාව මෙය බවද එම පිරිත් පින්කම ඉතාමත් ගෞරවාන්විතව ගාම්භිරබවක් ඇතිකරමින් සිදුකරන ලද බවද ධම්මික හිමියෝ පැවසුහ.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි, එංගලන්තයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානවාසී තවලම බන්දුල හිමි, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක සරසවියේ විනයභාර ආචාර්ය පැලවත්තේ සුදර්ශනාරාමයේ අත්ලේ සුමන හිමි, ස්වීඩනයේ තායි බෞද්ධ විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි උඩගම නාරද හිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ හල්විටිගල සුජාත හිමි  සහ ශ්‍රීපාද විහාරස්ථානයේ කම්පනේ අනුරුද්ධ හිමියෝද මේ පිරිතට වැඩම කළහ.

IMG_0258 IMG_0266 IMG_0278